
ජනාධිපතිවරණයකදී පළමු වරට දෙවරක් ඡන්ද ගණන් කිරීමට සිදුවූ 2024 ජනාධිපතිවරණයෙන් සියයට 42 ක් ඡන්ද ලබා ගෙන ජනාධිපති ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායකගේ නායකත්වය සමග, 2024 නොවැම්බරයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජා.ජ.බ ආණ්ඩුවක් බලයට පත් විය.
නොවැම්බර 18 වන දින ඔවුන්ගේ ඇමති මණ්ඩලය දිවුරුම් දුන්හ. මේ වන විට, ඒ ජා.ජ.බ ආණ්ඩුවට මාස 19 ක් ගතවී ඇත.
මේ මාස 19ක කාලයේ ආණ්ඩුවේ ප්‍රමුඛතා වූයේ මොනවාද?
1. අස්වැසුම වැඩි කිරීම, අඩු ආදායම්ලාභි පවුල්වල ආබාධිතයින්ට මාසික දීමනාවක් ලබාදීම, වකුගඩු ආබාධිතයින්ගේ දීමනාව වැඩි කිරීම, ජ්‍යෙෂ්ඨ පුරවැසි අවශ්‍යතා සඳහා දීමනාව රුපියල් 5,000කිරීම වැනි, භාණ්ඩාගාරයට එකතු කෙරෙන මහජන බදු මුදල් වැඩි වැඩියෙන් බෙදා හැරීමේ ජනප්‍රිය පියවර සහ බදු අය කිරීමෙන් නිදහස් කෙරෙන පුද්ගල ආදායම් සීමාව මාසිකව රුපියල් 100,000සිට රුපියල් 150,000දක්වා ඉහළ දැමීම වැනි පියවරය
2. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීම

3. වැවිලිකරයේ සේවක වැටුප් 2026 ජනවාරියේ සිට වැඩි කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගනිමින් ජනාධිපති අනුර කුමාර 2025 ඔක්තෝම්බරයේ දුන් පොරොන්දුව සඳහා 2026 අයවැයෙන් මහජන මුදල් රුපියල් බිලියන 05 ක් වෙන් කිරීම.
4. විදේශ විශ්ව විද්‍යාලවල උපාධි සඳහා ඉගෙනුමට ශිෂ්‍යත්ව 200ක් ලබා දීමට 2026අයවැය ඇස්තමේන්තු වලට අනුව රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කර තැබීම.
මෙම ලැයිස්තුව දිගින් දිගටම ලියාගෙන යනවාට වඩා, ඉන්දියානු බුද්ධි හවුලක් සහ ආරක්ෂක හා ජාත්‍යන්තර සබඳතා අධ්‍යන ආයතනයක් වන මනෝහාර් පරික්කාර් ආයතනයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සම්බන්ධයෙන් ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර සබඳතා හා ජාතික ආරක්ෂාව අධ්‍යනය කරන්නාවූ විශේෂඥවරියක් වන ආචාර්ය ගුල්බින් සුල්ටානා 2025 වසර අවසානයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ අධ්‍යනයක ඉතා කෙටි පූර්විකාවේ ආරම්භක වාක්‍ය දෙක මෙහි උපුටා දක්වීම ප්‍රමාණවත් යැයි සිතුන හෙයින් එය මෙලෙසින් උපුටා දක්වමි.

“පාර්ලිමේන්තුවෙහි පූර්ණ බලයද, අපමණ ජනප්‍රියතාවක් සහ දුර්වල විපක්ෂයක්ද ඇතිව වූවත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු පාලන වසර එතරම් යහපත් නොවුනි. එයට සිය අධිශ්ඨානය හා හැකියාව පරීක්ෂාවට ලක් කෙරුණු අභ්‍යන්තර හා බාහිර අභියෝග වලට මුහුණ දෙන්නට සිදු විය. එවගේම, අභියෝග හමුවේ රට පාලනය කිරීමේදී පක්ෂයේ ආධුනිකත්වයද ප්‍රදර්ශනය විය.” (SRI-LANKA-2025_MAIDEN-YEAR-OF-THE-NPP-ADMINISTRATION)
“ආණ්ඩුවේ පළමු පාලන වසර එතරම් යහපත් නොවුනි” යැයි කීම, ආණ්ඩුවේ පැටිකිරිය හා සැළකූ කළ, ඇත්තටම ප්‍රමාණවත් ප්රකාශයක්දැයි මට ඇත්තේ දැඩි කුකුසකි. එයට හේතුව, මේ ආණ්ඩුව පිරිසිදු ආණ්ඩුවක් යැයි තවමත් පිළිගන්නා පිරිස් ආණ්ඩුවේ යෝධ දූෂණ කැමැත්තෙන් අමතක කර සිටියද, එයම මට ජීර්ණය නොවන්නක් වීමය. එනිසා ඉන් කිහිපයක් මෙලෙස සටහන් කරමි.
01. ආණ්ඩුව බලයට පත්ව, මාස 02 ක් ඇතුළත, “රතු ලේඛනගත” බහළුම් 323 ක් නිසි පරීක්ෂණයකින් තොරව 2025 ජනවාරි 18 වන දින රේගුවෙන් නිදහස් කරනු ලැබුවේ, ජනාධිපති අනුර කුමාර රේගු ප්‍රධානීන් කැඳවා එම බහළුම් දින 04 ක් ඇතුළත නිදහස් කරන මෙන් දෙනු ලැබූ “නියෝගය” අනුව යැයි වාර්තා විය. එම බහළුම් 323 රහස්‍ය ලෙස නිදහස් කර ඇති බවත් ඒවායේ අඩංගු කිසිවක් ගැන තමන් කිසිදු වගකීමක් නොගන්නා බවත් රේගු වෘත්තීය සමිති සන්ධානය ජනවාරි 22 වන දින ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළහ. රහස්‍ය ලෙස බහළුම් නිදහස් කිරීම සම්බන්ධ පරීක්ෂණ කිරීමට රේගු ප්‍රධානියාගේ සභාපතිත්වයෙන් පත් කළ නිලධාරීන්ගේ කමිටුව කෙතරම් ස්වාධීනවී දැයි යන්න ප්රශ්නයකි. එවැනි කමිටුවක වාර්තාවෙහිද බහළුම් නිදහස් කිරීමේ පිළිවෙත නීති විරෝධි යැයි සටහන් නොකර සිටින්නට නොහැකි වූවකි. එවගේම, “නිසි පරීක්ෂණයකින් තොරව බහළුම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාව, ආදායම් එකතු කර ගැනීම සහ මහජන ආරක්ෂාව බරපතල අවදානමකට ලක් කරන්නකි” යැයිද එහි සඳහන්ව ඇත.
මේ අතර ඒ සඳහා අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කර ඇත. ඊට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඒ සම්බන්ධ පරීක්ෂණ ආරම්භකර තිබිණ.
අවුරුද්දකුත් මාස 05 ක් ගතව ඇතත් රහස්‍ය ලෙස බහළුම් නිදහස් කිරීමේ ඇත්ත කතාව ගැන ආණ්ඩුව විසින් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළ පරීක්ෂණ වාර්තාවක් ඇත්තේ නැත.

02. තමන්ගේ පාලනයක් යටතේ සහල් ඇටයක්වත් පිටරටින් නොගෙන්වන බවට පසුගිය ආණ්ඩු කාලයේ උජාරු කතා කියූ ජවිපෙ නායකයින් දැන් සහල් ආනයනය කරනවා පමණක් නොව, සහල්, සීනි, දිය ලුණු ආනයනය කිරීමේදී පවා ටෙන්ඩර වෙනස්කරමින් කොමිස් ගන්නා බවට චෝදනා ඇත.
03. පුණර්ජනනය විදුලිය සඳහා වන වැඩසටහන් ප්‍රමාද කෙරෙන බවත් නිවැසියන් වහල මත සවි කරගෙන ඇති සූර්ය බල ශක්ති පුවරු අක්‍රීය කර තැබීමට හේතු නිර්මාණය කරනවාට අමතරව, නිවැසියන්ගෙන් සූර්ය බල ශක්ති අතිරික්තය මිලට ගැනීමේ ගාස්තු අඩු මට්ටමක තබා ඇතැයිද කියනු ලැබේ.
04. ලක්විජය බලාගාරය සඳහා බාල ප්‍රමිතියක ගල් අඟුරු ආනයනය කිරීමේ යෝධ මගඩිය දැන් මාලිමා ආණ්ඩුවටද පිළිගැනීමට සිදුව ඇත. ඒ මගඩිය හේතුවෙන් රටේ ජනතාවට කර ගසන්නට සිදුවන සෘජු අලාභය රුපියල් බිලියන 07.6 ක් ලෙස ගණන් බලා ඇත. එහි අනෙක් ප්රතිවිපාකය වන්නේ බාල ගල් අඟුරු විසින් විශාල වශයෙන් මුදා හැරෙන අළු ප්‍රමාණ සතර අත හමා යෑමෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන පරිසර දූෂණය වන්නේය.
මේ අතර, 2025 නොවැම්බර 28 වන දින ශ්‍රී ලංකාවට කඩා වැදුණු “ඩිට්වා” සුළිකුණාටුව, 2,33,000 ක් පුද්ගලයින් අවතැන්කර, නිවාස, ගොඩනැගිලි, යටිතල පහසුකම් සමග කෘෂිකර්මය ඇතුළු ආර්ථික කටයුතු අඩාල කළ, නාය යෑම් 1,800 ක් සිදුවිනැයි ගණන් බලා ඇති අතිශය බරපතල විනාශය, ලෝක බැංකු ඇස්තමේන්තුවට අනුව ඩොලර බිලියන 04.1 කි.

අවතැන්ව, අසරණව, නැවත තම ජීවිත පටන් ගැනුමට හයියක් නොවුනු ඒ ජනතාවට ආණ්ඩුව පොරොන්දුවූ ක්ෂණික සහන වූයේ, (1) නිවාස පිරිසිදුකර ගැනීමට රු.25,000 (2) කුස්සිය හා ජීවත්වන්නට අවශ්‍ය අලුත්වැඩියා සඳහා රු. 50,000 සහ (3) අවතැන් වූවන්ට මාසිකව කුලී වශයෙන් රු. 25,000 කි. ඊට අමතරව, අර්ධ වශයෙන් හානිවූ නිවාස අලුත්වැඩියාවට රු.2,50,000 සිට මුළුමනින් විනාශ වූ නිවාස සඳහා රු.මිලියන 05 දක්වා ආධාර මුදල් පොරොන්දු විය. ජීවනෝපාය සඳහා වගා හානියට ආධාර වශයෙන් හෙක්ටයාරයකට රු.1,50,000 සිට 2,00,000 දක්වාද පශුසම්පත් සත්වයෙකුට රු.20,000 බැගින්ද විය. හානි වූ කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යාපාර වෙනුවෙන් රු.2,00,000 ක් සහ ධීවර යාත්‍රාවක් සඳහා උපරිම රු.4,00,000 ක්ද තීන්දු විය. ඒවාට අමතරව සමාජ රක්ෂණ සහනාධාර ලෙස විපතට පත් පාසල් දරුවෙකුට රු.15,000 ක ආධාරයක් හා මිය ගිය පුද්ගලයෙකුට හා පූර්ණ වශයෙන් ආබාධිතයෙකු ඉන්නා පවුලකට රු. මිලියනයක ආධාරයක් තීන්දු කෙරිණ.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ 2026 පෙබරවාරි 06 වන දින නිකුත් කෙරුණු තත්ත්ව වාර්තා අංක 07 ට අනුව, ඒ වන විටත් අනාථවූ පුද්ගලයින් 1,65,000 ක් සිටි අතර, ආරක්ෂිත නවාතැන් 85 ක 6,680 ක් රැකවරණ ලැබූහ. ප්‍රාථමික හා ද්විතියික පාසල් 1,682 ට හානි වී තිබූ අතර ඉන් අධ්‍යාපනය අඩාල වූ ළමුන් සංඛ්‍යාව 8,23,000 කි.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය නිකුත් කළ අංක 12 දරණ තත්ත්ව වාර්තාවට අනුව ඩිට්වා සුළිකුණාටුව පැමිණීමෙන් මාස 05 ට පමණ පසුවද පසුගිය අප්‍රේල් 17 දින වන විට පුද්ගලයින් 1,49,000 ක් ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නිවෙස්වල තාවකාලිකව නතරව සිටියහ. අරක්ෂක නවාතැන් 20 ක් තිබිණ.
ඩිට්වා සුළිකුණාටුව නිසා විපතට පත් පුද්ගලයින් සඳහාවන සහනාධාර මුදල් මූලික වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවනු ලබන්නේ යැයි වාර්තා කෙරිණ. එහෙත් බිම් මට්ටමට එන විට, ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ බලපෑම් හා දූෂණවල අඩුවක් නොවුනු බවට පැමිණිලි නිරන්තරව අසන්නට ලැබුණකි.

මේ අතර තවමත් පාර්ලිමේන්තුවෙහි හෝ වහා විගණනයක් ඉල්ලා නොමැති අරමුදලක් වන්නේ Sri Lanka Rebuilding Fund (ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා අරමුදල) නමින් ඩිට්වා සුළිකුණාටුව සමග ජනාධිපති අනුර කුමාර පිහිටවූ අරමුදල ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ක්‍රියාත්මක කෙරෙන ඊට ආධාර එකතු කෙරෙන්නේ පෞද්ගලික ආධාර වශයෙනි. එය නිත්‍යානුකූල අරමුදලක් නොවේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු කීහ. ඊට පිළිතුරු දෙමින් ඉකුත් 10 වන දින පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක ඇමතිවරයා කියුවේ, එවැනි අරමුදල් ඕනෑ තරම් මීට ඉහතින්ද පිහිටුවා ඇති අතර, ව්‍යවහාරයේ “ඒකාබද්ධ අරමුදල” යැයි හැඳින්වෙන ගිණුමක් මහ භාණ්ඩාගාරයෙහි නැත යැයි කියා ය. ඔහු දැන සිටිය යුත්තේ Sri Lanka Rebuilding Fund එකට මෙන් “ඒකාබද්ධ අරමුදල” සඳහා පත් කෙරෙන ජනාධිපති කාර්ය සාධන මණ්ඩලයක් හා පාලක මණ්ඩලයක් නොමැති බවය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන පරිච්ඡේදයේ අනු ව්‍යවස්ථා 149 (1) සහ (2) මගින් “ඒකාබද්ධ අරමුදල” යන්න අර්ථ ගන්වමින් එය පාර්ලිමේන්තුවට යටත්කර ඇත. අනු ව්‍යවස්ථා 149 (1) මගින් කියන්නේ “නියමිත කාර්යය සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූ ද, ජනරජය සතු වූ ද, සියලූම අරමුදල් එක්ව ඒකාබද්ධ අරමුදල නමැති අරමුදලක් වන්නේ ය” යැයි කියා ය. ඒ අනුව ඒකාබද්ධ අරමුදල ඇමති බිමල් රත්නායක කියන්නක් නොවේ. එය නෛතික පිළිගැනුමක් නොමැති, පාර්ලිමේන්තු හිමිකාරිත්වයක්ද නැති ඔවුන්ගේ Sri Lanka Rebuilding Fund වැන්නක් නොවේ.
නොකියාම බැරි කාරණය වන්නේ “ජනතාවට වග කියන, විවෘත, ශිෂ්ඨ සම්පන්න, පිරිසිදු නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමට දුන් පොරොන්දුවද” ආරම්භයේ සිටම අනාථකර ඇති බවය. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක කෙරුණු පසු යහපාලන ආණ්ඩු සමයේ ජනාධිපතිගේ හා අගමැතිගේ පෞද්ගලික වත්කම් වැනි තොරතුරු ඉල්ලා සිටි විට නොදුනු අවස්ථා තිබුණද, රජයේ ආයතන හා අමාත්‍යාංශ වැඩ කටයුතු, රාජ්‍ය වියදම් හා ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකි විය. ජනතාවට වග කියන්නාවූ ආණ්ඩු පාලනයක් ස්ථාපිත කිරීමට පැමිණි මොවුන්ගෙන් ඒ කිසිවක් ලැබෙන්නේ නැත.

එවගේම නිදහස් ප්රජාතන්ත්රවාදී පාලනයක් වෙනුවෙන් පොරොන්දු දී පැමිණ, ඔවුන්ද ප්‍රතික්ෂේප කළ, අහෝසි කරනවා යැයි අනුර කුමාර ප්‍රසිද්ධියේ කියූ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” (PTA) දැන් මේ ආණ්ඩුවට නැතිව බැරි පනතක්ව ඇත.
බරපතලම කාරණාව නම්, ඉහතින් දැක්වූ කිසිවක් මේ රටේ ජන ජීවිතය අංශු මාත්‍රයකින් හෝ ඉහළට එසැවීමට දායක නොවීම ය. මේ රටේ ජන ජීවිතය සෙමෙන් හෝ තිරසාර ලෙස ස්ථාවරව පවත්වා ගැනීමට නම්, ග්‍රාමීය ආර්ථිකය දියුණු කෙරෙන ජාතික සංවර්ධන සැළැස්මක් අවශ්‍ය වන්නේය. විධිමත් අධ්‍යාපනය, සෞඛ්‍ය, මගී ප්‍රවාහනය ඊට ඇතුළු විය යුතුය. සමෘද්ධි, අස්වැසුම අහෝසිකර දරිද්‍රතාව නිවැරදිව ගණන් බලා සහනාධාර අවශ්‍ය පවුල් සඳහා කෙටි කාලීන සුභ සාධනයක් ක්‍රියාත්මක කළ යුතුය. රාජ්‍ය සේවාව ලිපිගොනු නඩත්තු කෙරෙන කාර්යාල පරිපාලන සේවාවක් ලෙස නොව, කාර්යක්ෂම ජනතා සේවාවක් ලෙස වහා ප්‍රතිසංවිධානය කළ යුතු ය. ඒ සියල්ල ගොනු කෙරුණු පොදු වැඩපිළිවෙලක් ජනතාව හමුවේ තැබිය යුතුය.
එවැන්නක් මේ ආණ්ඩුවේ දේශපාලන නායකත්වයෙහි ප්‍රමුඛතාවක් ලෙස දකින්නට නොමැතිවීම, “…..අභියෝග හමුවේ රට පාලනය කිරීමේදී පක්ෂයේ ආධුනිකත්වයද ප්‍රදර්ශනය” වීයැයි ආචාර්ය ගුල්බින් සුල්ටානා කියූව සනාථ වන්නේ එබැවින් ය.

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ජුනි 16 වන දින
