Impartial news reporting for a stronger democratic society
2014 ටී-ෂර්ට් නඩුව : බැසිල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය CID නියෝග කරයි

හිටපු ආර්ථික සංවර්ධන  ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පෙරේදා  (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) නියෝග කැර ඇත.

2014 දී ඌව පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ටී-ෂර්ට් මුද්‍රණය කිරීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක් භාවිතා කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කැර ඇත.

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්, සැකකරු වන බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කැර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කැර සිටි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් මහතා දැඩි ඇප කොන්දේසි යටතේ නිදහස් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

ජවුෆර් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දන්වා සිටියේ, නඩුවේ තුන්වැනි සැකකරු වන තම සේවාදායකයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පළ කැර ඇති බවත්, එමඟින් නඩු පැවරීමට සහාය වීමට ඔහුගේ කැමැත්ත පෙන්නුම් කරන බවත්ය.

සැකකරු සුදුසු කොන්දේසි මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කෙළේය.

ඒ අනුව, කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවූ මහේස්ත්‍රාත්වරයා, එම තීරණය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස නියෝග කෙළේය.

නඩුව ඔක්තෝබර් 14 වැනි දින දක්වා කල් තබන ලදී.

සිද්ධියේ දෙවැනි සැකකරු වන, දැනටමත් ඇප මත සිටින හිටපු කාර්යාංශයේ සභාපති භාෂ්වර ගුණරත්න, නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

(Cyber World Press)

Follow by Email
LinkedIn
Share
WhatsApp