Impartial news reporting for a stronger democratic society
ජනාධිපති අනුර කුමාරගේ අය- වැය මඟින් ආර්ථික අර්බුදයට නිසි විසදුමක් ලබා දී නැහැ — ශ්‍රී ලංකාවේ කොම්යුනිස්ට් පක්ෂය කියයි

ජනාධිපති අනුර කුමාර  දිසානායක මුදල් ඇමැතිවරයා වශයෙන්  පසුගිය නොවැම්බර් 12 වැනි  දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2027 අයවැය මඟින් රටේ ආර්ථික අර්බුදයට නිසි විසදුමක් නොලැබේන බවත් , ජනතාව කබළෙන් පිලට දමන අයවැයක් බව ශ්‍රී ලංකාවේ කොම්යුනිස්ට් පක්ෂය  නිවේදනයක් නිකුත්කරමින්  කියා සිටි.

ශ්‍රී ලංකාවේ කොම්යුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්  වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති  එම නිවේදනයේ තවදුරටත් මෙසේද  සඳහාන්  වෙයි.

 මෙම අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අවශ්‍යතා ඉටුකරමින් ආර්ථිකය කළමනාකරණය කරන අතර, ලිබරල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ද ඉදිරියට ගෙන යමින් සිටි. එහෙත්, වැඩ කරන ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හෝ ආර්ථිකය පරිවර්තනය කිරීමට කිසිදු සැලැස්මක් මෙහි අඩංගු  වී නැත. සාර්ව ආර්ථික දර්ශක ඉදිරිපත් කරමින් අලංකාර චිත්‍රයක් ඇඳීමට උත්සාහ කළ ද, අවම මට්ටමින්වත් එදිනෙදා ජීවත්වීම දුෂ්කරවන තරමට රටේ සාමාන්‍ය ජනතාවට තදින් පහර වැදී ඇති බව සඳහාන් කළ යුතුය.  

කලින්  ආණ්ඩු සමයේ සිටම ආර්ථිකය ස්ථාවර වී ඇත. 2025 වසරේදී ආර්ථික වර්ධනය සියයට 5ක් දක්වා ළඟා වූ අතර, අයවැය හිඟය ද අඩු වී ඇත. එහෙත් මෙම ජයග්‍රහණ අත්පත් කැර ගැනීම සඳහා මිල ගෙවීමට සිදු වූයේ කම්කරුවන්ට, ගොවීන්ට සහ දුප්පත් ජනතාවට ය. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ප්‍රතිලාභ දැන් කාට හිමිවේද යන්න පිළිබඳව මෙම අයවැය කිසිවක් සඳහන්  කැර නැත.

ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට සිදුව ඇති ලෝක තත්ත්වය පිළිබඳව, අයවැය කතාවේ කිසිදු විශ්ලේෂණයක්   සඳහාන්ව නැත.බටහිර ආසියාවේ පවතින යුද්ධය ගැන එහි සඳහන් වන්නේ, ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑමට හේතුවක් ලෙස පමණි.

එහෙත්, ලෝකය පවතින්නේ දැඩි කැළඹිලි සහිත තත්ත්වයක ය. යුක්රේනය, පලස්තීනය, ඉරානය සහ සුඩානය යන රටවල පවතින යුද්ධ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මිය යන අතර, ආහාර, ඉන්ධන සහ පොහොර සම්බන්ධ ගෝලීය වෙළෙඳාම ද බාධාවට ලක්ව ඇත. රජයේම දත්තවලට අනුව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් පමණක් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 147කට අධික පාඩුවක් සිදුව තිබේ.

‘ගෝලීය උතුරේ’ රටවල් තුළ මතුවෙමින් පවතින ඒකපාර්ශ්විකවාදය සහ ආරක්ෂණවාදය පිළිබඳව මෙම අයවැය කතාව නිහඬ ය. එම කලාපවල රටවල් දැන් තීරුබදු, සම්බාධක සහ අපනයන පාලනයන් ආයුධ ලෙස භාවිතා කරයි. එසේම, ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ආසියාව දෙසට මාරුවීම පිළිබඳව ද මෙහි කිසිදු සඳහනක් නැත. චීනය සහ ඉන්දියාව සමඟ ඇති කැරගත් වෙළෙඳ ගිවිසුම් මෙන්ම ‘කලාපීය පුළුල් ආර්ථික හවුල්කාරිත්වය’ වෙත සම්බන්ධ වීමට ඉදිරිපත් කැර ඇති අයැදුම්පත ද මෙහි දක්වා ඇත්තේ, කිසියම් උපායමාර්ගයක කොටස් ලෙස නොව, හුදෙක් වෙන වෙනම කරුණු කිහිපයක් ලෙස පමණි.

දකුණු – දකුණු සහයෝගීතාවය බ්‍රික්ස් (BRICS) සංවිධානය, නව සංවර්ධන බැංකුව සහ කලාපීය හවුල්කාරිත්වයන් හරහා, සංවර්ධනය වෙමින් පවතින රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි සහ බටහිර වෙළෙඳපොළවල් මත යැපීම සඳහා විකල්ප ලබා දෙයි. අයවැයෙන් එම අදහස පවා මතු නොකරයි. 

අපේ ජනතාවගෙන් විශාල කොටසක් දරිද්‍රතාවයේ ජීවත් වන අතර ආහාර හෝ ඖෂධ මිල දරා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේදී සියයට 2.1 සිට 2026 ඔක්තෝබර් මාසයේදී සියයට 8.3 දක්වා ඉහළ ගොස් වැටුප් සහ විශ්‍රාම වැටුප් ජීවත්වීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන තත්ත්වයට පත්කොට ඇත. එහෙත්,

  • පොලී ගෙවීම් සඳහා පමණක් රුපියල් බිලියන 2,643 වෙන්කරන විට, අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණයට රුපියල් බිලියන 230 ක් ලැබී ඇත.
  • මුළු සහනාධාර සහ මාරු කිරීම් රුපියල් බිලියන 100 කින් පහත වැටේ.
  • අස්වේසුමා ගෙවීම්වල වැඩිවීමක් නිවේදනය කැර නොමැත.

හාල්මැස්සන් සහ උම්බලකඩ මත පනවා ඇති බදු අඩු කිරීම ධනාත්මක වුවද, නොගිනිය හැකි තරමේ සුළු සහනයක් පමණි. මෙහිදී මග හැරී ඇත්තේ, නිශ්චිත ඉලක්ක සහ කාලරාමුවක් සහිතව, කවුරුන් දුප්පතුන් ද යන්න හඳුනාගෙන, ඔවුන් දරිද්‍රතාවයෙන් මුදවා ගන්නේ කෙසේද යන්න පැහැදිලිව දක්වන සැබෑ දරිද්‍රතා පිටුදැකීමේ වැඩසටහනකි.

මෙම අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අපේක්ෂා කරන ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ලිබරල් ප්‍රතිසංස්කරණ මාර්ගය ඔස්සේම ගමන් කරයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම සහ ප්‍රාථමික වියදම් සීමා කිරීම වැනි මෙහි ප්‍රධාන ඉලක්ක, දැඩි මූල්‍ය පාලනයක් (austerity) අරමුණු කැරගත් ඒවා වේ. රජයේ ආදායමෙන් ආසන්න වශයෙන් 43%ක් තවමත් වැය වන්නේ ණය පොලී ගෙවීම් සඳහා වන  අතර, ණය වාරික ගෙවීම් ඊට එක් කළ විට එම ප්‍රමාණය රාජ්‍ය ආදායමෙන් 78.5% කි.

මෙහි යෝජිත ප්‍රතිසංස්කරණ මාලාව අපට හුරුපුරුදු ඒවා ය: රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පනතක්, රාජ්‍ය ව්‍යවසායන් සඳහා හෝල්ඩින් සමාගමක් (holding company), ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පතක්, කම්කරු නීති ප්‍රතිසංස්කරණ, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සහ මත්තල ගුවන්තොටුපොළ සඳහා පෞද්ගලික හවුල්කරුවන් යොදා ගැනීම සහ භාණ්ඩ වර්ග 800ක් සඳහා ආනයන තීරු බදු අඩු කිරීම ඊට ඇතුළත් ය.

ආර්ථික ස්ථායීතාව අත්‍යවශ්‍ය වුවත්, එය සංවර්ධන උපායමාර්ගයක් නොවේ. බාහිර ආර්ථික අංශය තවමත් ශක්තිමත් වී නොමැති බව අයවැය කතාවේම පිළිගෙන ඇත. 2025 වසරේ පළමු මාස නවය තුළ  අමෙරිකානු ඩොලර් මිලියන 1,853ක අතිරික්තයක්ව පැවති ජංගම ගිණුම, 2026 වසරේ එම කාලසීමාව තුළ  අමෙරිකානු ඩොලර් මිලියන 420ක හිඟයක් දක්වා වෙනස් වී ඇත. 2026 පළමු මාස නමය සඳහා වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 වූ අතර 2025 අදාළ කාලය සඳහා එම හිඟය ඩොලර් බිලියන 5.2 කි.  දේශීය නිෂ්පාදන ධාරිතාව ගොඩනැඟීමට පෙර ආර්ථිකය තවදුරටත් විවෘත කිරීම මඟින් මෙම පරතරය තවදුරටත් පුළුල් වනු ඇත.

උපායමාර්ගික කර්මාන්ත තෝරාගෙන, ඒවා ගොඩනැඟීම සඳහා රාජ්‍ය මැදිහත්වීම සහ කැපවීම සහතික කරන කාර්මික ප්‍රතිපත්තියක් නොමැතිව, 7%ක ආර්ථික වර්ධන ඉලක්කය සපුරා ගත නොහැක. මෙම අයවැය මඟින් යෝජනා කැර ඇත්තේ කාර්මික කලාප, සහනදායී ණය සහ විශාල ආයෝජකයන් සඳහා බදු සහන වැනි සීමිත පියවර කිහිපයක් පමණි. ග්‍රැෆයිට්, ඛනිජ වැලි, සිලිකා සහ ක්වාර්ට්ස් වැනි සම්පත් සම්බන්ධයෙන් ගත් කළ, මෙහි සැලසුම වන්නේ හුදෙක් “සුදුසු ආයෝජකයකු හඳුනා ගැනීම” පමණක් වන අතර, එමඟින් අමුද්‍රව්‍ය තවදුරටත් අපනයනය කිරීමේ අවදානම ඉහළ යයි.

ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් බිලියන 100 ක් සහ දුම්රිය විදුලිය සඳහා රුපියල් බිලියන 80 ක් ඇතුළුව රාජ්‍ය ආයෝජන රුපියල් බිලියන 2,000 දක්වා ඉහළ යෑම අපි පිළිගනිමු. නමුත් මාර්ග සහ දුම්රිය මාර්ගවලින් පමණක් රට කාර්මිකකරණය කළ නොහැක. දේශීය අන්තර්ගත නීති, දේශීය බස් රථ නිෂ්පාදනය, රෝලිං ස්ටොක් සහ බලශක්ති උපකරණ සහ තෝරාගත් අංශ සඳහා සංවර්ධන මූල්‍ය පහසුකම්  හරහා රාජ්‍ය ආයෝජන දේශීය නිෂ්පාදනයට සම්බන්ධ කළ යුතුය. කාර්මිකකරණය වූ ආසියානු ආර්ථිකයන් එසේ කෙළේ තීරුබදු අඩු කිරීමෙන් සහ ආයෝජකයන් එනතුරු බලා සිටීමෙන් නොව සැලසුම් කිරීම, මූල්‍ය යොමුකිරීම්  සහ නව කර්මාන්ත ආරක්ෂා කිරීම හරහා ය.

බදු ආදායමෙන් සියයට 76 ක් පමණ වක්‍ර බදු වලින් සමන්විත වේ. සෑම පවුලක්ම තම ආදායම කුමක් වුවත්, තමන් මිලදී ගන්නා දේ සඳහා වැට් සහ සමාජ ආරක්ෂණ බද්ද (SSCL) ගෙවයි. එහෙත් අයවැයේ රුපියල් බිලියන 28.4 ක බදු සහනවලින් අඩකට වඩා මසකට රුපියල් 150,000 කට වඩා උපයන අයට ආදායම් බදු සහන වන අතර, එයින් දුප්පතුන්ට කිසිවක් නොලැබේ. සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීම සහ නව බදු දීමනා මඟින් ව්‍යාපාරවලට ප්‍රතිලාභ ලැබේ.

දුප්පතුන් මත පනවා ඇති වක්‍ර බදු අඩු කළ යුතුය. විශේෂයෙන්, සුළු හෝ කිසිවක් නොගෙවන, අවිධිමත් අංශයේ බොහෝ ධනවත්ම පුද්ගලයන් වෙත ළඟා වන පරිදි බදු දැල පුළුල් කළ යුතුය. ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.8 දක්වා පහත වැටීමට නියමිත බැවින්, රජයේම මට්ටම වන සියයට 16 ට වඩා අඩු වන බැවින්, සහන සඳහා මුදල් ධනයට බදු පැනවීමෙන් ලැබිය යුතුය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය රජයෙන් ඉල්ලා සිටින්නේ:

  1. නොබැඳි සහ දකුණු-දකුණු සහයෝගීතාව මත පදනම් වූ බහු ධ්‍රැවීය ලෝකයක් සඳහා විදේශ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත්,
  2. ජාතික දරිද්‍රතා පිටුදැකීමේ වැඩසටහනක් දියත් කළයුතු අතර, ආහාර සහ ඖෂධ මිල අඩුකිරීමට පියවර  ගන්නා ලෙසත්,
  3. උපායමාර්ගික කර්මාන්ත නම් කැර ඒවාට රාජ්‍ය ආයෝජන සහ සෘජු ණය සමඟ සහාය දෙන කාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත්,
  4. යටිතල පහසුකම් සඳහා වන රාජ්‍ය ආයෝජන දේශීය නිෂ්පාදනය හා රැකියාවට සම්බන්ධ කිරීම,
  5. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වන වක්‍ර බදු අඩු කැර ධනවත් පුද්ගලයන් වෙත ළඟා වන පරිදි බදු දැල පුළුල් කිරීම,

 සඳහා ජනතාව  ජන ජනවරමක් ලබා දු් බව ශ්‍රී කොමියුනිස්ට් පක්ෂය  කියා සිටි.

ප්‍රධාන ලේකම්

2026. 11. 25

Follow by Email
LinkedIn
Share
WhatsApp