
කිසිදු අවස්ථාවක අමෙරිකාව සමඟ කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට රාජ්‍ය පුවත්පතක් වෙත අදහස් දක්වමින් විදේශ ඇමැති අබ්බාස් අරාග්චි පවසා තිබේ.
වත්මන් ගැටුම්කාරී වාතාවරණය හෝ පවතින අවහිරතා සමනය කර ගැනීමේ අරමුණින් ගිවිසුමකට එළැඹීමට ඉරානය කිසිදු සුදානමක් නොමැති බවත්,දෙපාර්ශ්වය අතර ඇති කර ගන්නා ඕනෑම ගිවිසුමක් හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන ප්‍රහාර යළිත් සිදු නොවන බවට ස්ථිර සහතිකයක් ලබා දිය යුතු බව ඉරාන විදේශ ඇමැතිවරයා පවසා තිබේ.
අමෙරිකාව සමඟ පවතින යුද ගැටුම් රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් අවසන් කර ගැනීමට තම රට තවමත් බලාපොරොත්තු වන බවත්, මැදිහත්කරුවන් හරහා ටෙහෙරානය සහ වොෂින්ටනය අතර තවදුරටත් පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවත් ඉරාන විදේශ ඇමැතිවරයා පවසා තිබේ . “තවදුරටත් යුද්ධයක් ඇති නොවන බවට සහතික වන ආකාරයේ ගිවිසුමක් ” ඉරානය අපේක්ෂා කරන බව ද ඔහු එහිදී අවධාරණය කැර තිබේ.
සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පෙර වොෂින්ටනය ඒ සම්බන්ධයෙන් අවංකව හා බැරෑරුම්ව කටයුතු කරන බවට සහතිකයක් අවශ්‍ය බව පැවසූ අරාග්චි, දෙපාර්ශ්වය අතර විශ්වාසය ගොඩනැගීමේ පියවරවල ස්වභාවය පිළිබඳව මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා කළ බව ද වැඩිදුරටත් සඳහන් කෙළේය.
කෙසේ වෙතත්, ඉරානය ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ ද එය තමන්ට කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ එකක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර තිබේ.
මැදපෙරදිග කලාපය අස්ථාවර කරමින්, නාවික ගමනාගමනයට බාධා එල්ල කරමින්, ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ දමමින් සහ කලාපයේ රටවල් රැසක් ඈඳා ගනිමින් ව්‍යාප්ත වී ඇති මෙම ගැටුම අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක මෙම ප්‍රකාශ නිකුත් වී ඇති බව වාර්තා වෙයි.
