Impartial news reporting for a stronger democratic society
චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ වාර්තාව අධිකරණයේදී ඇණහිටී
  • ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශාලතම සමූහ මිනීවල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විශේෂඥ වාර්තාව පදනම් කැරගෙන, ඒ පිළිබඳ වැඩිදුර කටයුතු ඉදිරියට නොගෙන යෑමට අධිකරණයෙන් තීරණයක්
  • රාජ් සෝමදේව සහ අනුෂා වන්නනායක  සකස්  කළ වාර්තාව, ඔක්තෝබර් 20 වැනි දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරයි .
  • පිටු 190කින් සමන්විත එම සාරාංශ වාර්තාවේ සඳහන් වන්නේ, එහි ඇතුළත් භෞතික සාක්ෂි පමණක් සැලකිල්ලට ගත් විට, විමර්ශනයට ලක්වන එම භූමදානවල ස්වභාවය සහ ලක්ෂණ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට ඒවා ප්‍රමාණවත් නොවන බවයි.
  • අදාළ පාර්ශ්වයන්ට මෙන්ම ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ (Office on Missing Persons) වෙනුවෙන් ද, එම වාර්තාව පදනම් කැරගෙන කිසිදු තීරණයක් ගත නොහැකි බව එහි පැහැදිලිව සඳහන් කැර ඇතැයි සුමන්තිරන් ප්‍රකාශ කරයි.

යාපනයේ චෙම්මණි සමූහ මිනීවල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විශේෂඥ වාර්තාව පදනම් කැරගෙන, ඒ පිළිබඳ වැඩිදුර කටයුතු සිදු නොකිරීමට අධිකරණය තීරණය කැර  ඇති බව වාර්තා වෙයි.

පුරාවිද්‍යාඥයන් වන මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක  එක්ව සකස් කළ’යාපනයේ චෙම්මණි හි අධිකරණ පුරාවිද්‍යාත්මක කැණීම්’ (Forensic Archaeological Excavation in Chemmani, Jaffna) යන මැයෙන් යුත් මෙම වාර්තාව, ඔක්තෝබර් 20 වැනි දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කැර ඇත.

පිටු 190කින් සමන්විත මෙම සාරාංශ වාර්තාවේ සඳහන් වන්නේ, එහි ලේඛනගත කැර ඇති භෞතික සාක්ෂි පමණක් සැලකිල්ලට ගත් විට, පරීක්ෂණයට ලක්වන මෙම භූමදානවල ස්වභාවය සහ ලක්ෂණ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට ඒවා ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත්, සොයාගත් පුරාවස්තු සහ ඊට අදාළ සාක්ෂි පදනම් කැර ගනිමින්, මෙම ස්ථානය ලෝකයේ වෙනත් ප්‍රදේශවල හමුවන රහසිගත භූමදාන ස්ථානවලට වඩා, විධිමත් භූමදාන චාරිත්‍ර ඉටු කරන ලද ස්ථානවලට වැඩි සමානකමක් දක්වන බව එම පුරාවිද්‍යාඥයන් දෙදෙනා විශේෂයෙන්ම අවධාරණය කැර ඇත .

  • වාර්තාවේ ඇති අඩුපාඩු සහ පරස්පරතා හෙළි කරන සුමන්තිරන්

නොවැම්බර් 19 වැනි දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී, මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඉහළ මට්ටමේ සාකච්ඡාවකින් අනතුරුව, මෙම විශේෂඥ වාර්තාව සහ එහි අඩංගු මතභේදාත්මක නිගමන පදනම් කැරගෙන වැඩිදුර කටයුතු සිදු නොකිරීමට අධිකරණය තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ පැවසූහ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කෙළේ, අදාළ පාර්ශ්වයන් වෙනුවෙන් මෙන්ම ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ (Office on Missing Persons) වෙනුවෙන් ද, මෙම වාර්තාව පදනම් කැරගෙන කිසිදු තීරණයක් ගත නොහැකි බව පැහැදිලිවම ප්‍රකාශ වූ බවයි.

මෙම වාර්තාවේ අඩුපාඩු පවතින බවත්, ඇතැම් කරුණු සාක්ෂි නොමැතිව සඳහන් කැර ඇති බවත්, මීට පෙර එම මහාචාර්යවරයාම ඉදිරිපත් කළ වාර්තාවට වඩා මෙය වෙනස් වන අතර එහි පරස්පර සොයාගැනීම් අඩංගු බවත් සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේය.

  • කාබන් කාල නිර්ණය පරීක්ෂණ සහ ඉදිරි පියවර

මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල් මාධ්‍ය වෙත පැවසුවේ, සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් සම්බන්ධයෙන් ‘කාබන් කාල නිර්ණය’ (carbon dating) පරීක්ෂණ සිදු කිරීම මෙම අදියරේදී සලකා බලනු නොලබන බව ද සාකච්ඡාව අතරතුර අධිකරණය සඳහන් කළ බවයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන නීතිඥ කනගරත්නම් සුගාෂ් ප්‍රකාශ  කෙළේ, මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කැර ඇති බවයි. එමෙන්ම, මෙම ගැටලුව විසඳිය හැක්කේ ජාත්‍යන්තර පරීක්ෂණයක් OMP (අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය) කොමසාරිස් මිරාක් රහීම් පැවසුවේ, ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් දෙසැම්බර් 14 වැනි දින නැවත මහේස්ත්‍රාත්වරයා හමුවීමට නියමිත බවයි.

මෙම ස්ථානය සහ එහි තිබී හමුවූ දේහයන් අයත් කාල වකවානුව තීරණය කිරීමට උපකාරී වන ‘කාබන් කාල නිර්ණය’ (carbon dating) පරීක්ෂණ සිදු කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමවේද සහ විද්‍යාගාර පිළිබඳව තම අදහස් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන් බව ඔහු සඳහන් කෙළේය.

  • කැණීම්වලදී හමුවූ සාක්ෂි සහ වින්දිතයන්ගේ පවුල්වල පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධතා

චෙම්මණි සමූහ මිනීවලේ කැණීම් කටයුතු වසරකට වැඩි කාලයක් පුරා, දින 110ක් තිස්සේ අදියර තුනකින් සිදු කෙරිණි.

කුඩා දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 583 දෙනෙකුට අයත් ඇටසැකිලි කොටස් හමුවීමෙන් අනතුරුව, අගෝස්තු 19 වැනි දින කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී.

හින්දු අවමංගල්‍ය චාරිත්‍රවලට අනුකූලව භූමදාන කැර නොමැති බව තහවුරු වූ මිනිස් ඇටසැකිලි කොටස්වලට අමතරව, පුද්ගලික දේපොළ සහ වෙනත් පුරාවස්තු 160කට අධික ප්‍රමාණයක් එහිදී සොයා ගන්නා ලදී.

ඒ අතරට ළදරු කිරි බෝතල්, පාසල් බෑග්, වැහි කබා සහ බෝනික්කන් ද ඇතුළත් විය.

  • මෙම සියලු දේ මේ වන විට අධිකරණ භාරයේ පවතී.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2025 සැප්තැම්බර් මාසයේදී නිගමනය කළ පරිදි, චෙම්මණි සමූහ මිනීවලෙහි අඩංගු වන්නේ නීති විරෝධී ලෙස හෝ අධිකරණ ක්‍රියාවලියකින් තොරව ඝාතනය කරන ලද පිරිමින්, කාන්තාවන්, දරුවන් සහ ළදරුවන්ගේ දේහයන්ය.

වින්දිත පාර්ශ්වයන් නියෝජනය කරන නීතිඥ කස්තුරි අහලංකන් මහත්මිය අධිකරණය හමුවේ විරෝධතා පෙත්සමක් ගොනු කළාය. එහිදී ඇය පෙන්වා දුන්නේ, අදාළ සාරාංශ වාර්තාවේ අඩංගු සොයාගැනීම්, නිරීක්ෂණ, අර්ථකථන සහ නිගමන මඟින් සිද්ධියට අදාළ සැබෑ තත්ත්වයන් හෝ පවතින සාක්ෂි කිසිසේත්ම ආවරණය කැර නොමැති බවයි.

පිටු නවයකින් සමන්විත එම ලේඛනය මඟින්, මෙම ස්ථානයේ සාමාන්‍ය භූමදාන කිරීම් සිදුවී ඇති බවට එම වාර්තාවේ දැක්වෙන නිගමනයට ද වින්දිත පාර්ශ්වයන් විරෝධය පළ කළහ. භෞතික සාක්ෂි සහ පුරාවිද්‍යාත්මක පසුබිම පිළිබඳ ප්‍රමාණවත් පරීක්ෂාවකින් තොරව, හුදෙක් උපකල්පන මත පදනම්ව එම නිගමනයට එළඹ ඇති බව ඔවුන් තර්ක කළහ.

Follow by Email
LinkedIn
Share
WhatsApp