
- ට්‍රම්ප්ගේ පවුලේ ව්‍යාපාරික ගනුදෙනු සහ ධවල මන්දිරයේ බලපෑම් පිළිබඳ සොයා බැලීමට සුදානම්
- ට්‍රම්ප් පිළිබඳ විමර්ශන කටයුතු ලබන පෙබරවාරියේ සිට ආරම්භ වෙයි
- ඩිමොක්රටික් පක්ෂයෙන් පුළුල් විමර්ශන
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ ව්‍යාපාරික ගනුදෙනු සහ ධවල මන්දිරයේ බලපෑම් පිළිබඳ සොයා බැලීමට සුදානම් වන බව අමෙරිකාවේ ඩිමොක්රටික් පක්ෂයේ ඉහළ නිලධාරීයකු වොෂින්ටන් නුවර සිටින Cyber World Press වාර්තාකරුට පවසා තිබේ.
අමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය තහවුරු කැර ගැනීමෙන් පසු පළමු නිල රාජකාරිය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගනුදෙනු සොයා බැලීම බව එම නිලධාරීයා තවදුරටත් පවසා තිබේ.
ඒ සඳහා නීතිඥයන් සූදානම් කැරගන්නා ලෙස දැනටමත් ඩිමොක්රටික් මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇති බවත් ,ට්‍රම්ප් පවුලේ ගනුදෙනුවලට සම්බන්ධ බව කියන සමාගම්වලින් ඩිමොක්රටික් පක්ෂය දැනටමත් වාර්තා ඉල්ලා ඇති බව අනාවරණය වී තිබේ. ඔවුන්ගේ තැරව්කරුවන් ලෙස කටයුතු කළ පාර්ශ්වකරුවන් ඩිමොක්රටික් පක්ෂයේ පළමු ඉලක්කය වනු ඇතැයි එම නිලධාරීයා Cyber World Press වාර්තාකරුට පවසා ඇත. රොයිටර් පුවත් සේවයේ වාර්තාවක් උපුටා දක්වමින් Cyber World Press සඳහන් කරන්නේ ට්‍රම්ප් පිළිබඳ විමර්ශන කටයුතු ලබන පෙබරවාරියේ සිට ආරම්භ වනු ඇති බවයි.
ට්‍රම්ප් පවුලේ ව්‍යාපාර සඳහා සත්කාරකත්වය සැපයූ රටවල් කිහිපයක් කෙරෙහි විමර්ශන කටයුතු ඇදී යනු ඇති බවත්, ලබන ජනවාරියේ දිවුරුම් දීමෙන් පසුව කොංග්‍රසයේ අධික්ෂණ කමිටුවේ සභාපති ලෙස පත්වීමට නියමිත කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩිමොක්රටික් නියෝජිත රොබට් ගාෂියා ප්‍රකාශ කැර තිබේ. ට්‍රම්ප් පවුලට සහ ට්‍රම්ප් සංවිධානයට අමෙරිකාවෙන් පිටත රටවල් රැසක ව්‍යාපාරික ගනුදෙනු, දේපොළ වෙළෙඳාම් සහ බලපත්‍ර ගිවිසුම් පවතින බවත්, සවුදි අරාබිය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පාකිස්තානය, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක් ඇතුළත් වන බවත් වොෂින්ටන් පෝස්ට්, නිව්යෝර්ක් ටයිම්ස් ඇතුළු අමෙරිකාවේ ප්‍රධාන පුවත්පත් වාර්තා කැර ඇති අතර, ඒ අතරින් සවුදි අරාබිය සහ පාකිස්තානය ඉදිරියෙන් සිටින බව සඳහන් කර තිබේ.
ට්‍රම්ප්ගේ බෑනණුවන් වන ජෙරාඩ් කුෂ්නර්ගේ සමාගමකට සවුදි අරාබියෙන් ලැබුණු ඩොලර් බිලියන 2ක ආයෝජන, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගේ පුත්‍රයකු වන සචේරි විට්කොෆ්ගේ පාකිස්තානයේ ව්‍යාපාරික ගිවිසුම් ඇතුළු තවත් ගනුදෙනු රැසක් ඩිමොක්රටික් පක්ෂයේ පුළුල් විමර්ශනයට ලක්වනු ඇතැයි වාර්තා වේ. ධවල මන්දිරයේ වරප්‍රසාද යටතේ ඔවුන් සමඟ ගනුදෙනු කළ පාර්ශ්වයන් විමර්ශනයට ලක්වීමේ අවදානම හේතුවෙන් විමර්ශන ආරම්භ වීමට පෙර ඩිමොක්රටික් පක්ෂය සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමට රටවල් කිහිපයක් උත්සාහ දරනු ඇතැයි Cyber World Press වැඩිදුරටත් වාර්තා කරයි.
