
චීනයේ වසර 5000කට ආසන්න ඉතිහාසයක් සහිත පුරාණ ශිෂ්ටාචාරයක උරුමය ලොවට හෙළි කරන සුවිශේෂී ස්ථානයක් ලෙස ලියැන්ෂු (Liangzhu) පුරාවිද්‍යාත්මක භූමිය හැඳින්විය හැකිව තිබේ. චීනයේ ෂෙජියැං (Zhejiang) පළාතේ හැංෂෞ (Hangzhou) නගරයට ආසන්නව පිහිටි මෙම පුරාවිද්‍යාත්මක භූමිය, චීන ශිෂ්ටාචාරයේ ආරම්භය, නාගරික සංවර්ධනය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය සහ සමාජ සංවිධානය පිළිබඳ වැදගත් සාක්ෂි රැසක් ලොවට ඉදිරිපත් කරයි.
ලියැන්ෂු සංස්කෘතිය ක්‍රිස්තු පූර්ව 3300–2300 පමණ කාලයට අයත් නවශිලා යුගයේ සංස්කෘතියකි. එම නිසා ලියැන්ෂු යනු පුරාණ නටබුන් එකතුවක් පමණක් නොව, මිනිස් සමාජය සංවිධානාත්මක නාගරික ශිෂ්ටාචාරයක් කරා ගමන් කළ ආකාරය පැහැදිලි කරන සජීවී ඉතිහාසයක සාක්ෂියක් ලෙස පෙන්වා දීම වැරදි නැත.

පුරාණ නගරයක නටබුන් තුළින් හෙළිවන ඉතිහාසය
ලියැන්ෂු පුරාවිද්‍යාත්මක භූමියෙන් හමුවී ඇති නටබුන් අතර, පුරාණ නගරයේ බිත්ති, මාලිගා සංකීර්ණ, පූජා ස්ථාන, සොහොන් බිම් සහ ජල කළමනාකරණ පද්ධති විශේෂ ස්ථානයක් ගනී. විශේෂයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව මෙම නගරය ක්‍රිස්තු පූර්ව 3300 සිට 2300 දක්වා කාලයේදී සංවර්ධනය වී තිබේ. නගරය, අභ්‍යන්තර නගරය, බාහිර නගරය සහ මාලිගා ප්‍රදේශය වැනි කොටස්වලින් සමන්විත වූ බව මේ වන විට හඳුනාගෙන තිබේ.


විශේෂයෙන්ම මෙහි ඉදිකර තිබූ ජලාශ, වේලි සහ ඇළ මාර්ග පද්ධතිය එම යුගයේ මිනිසුන් සතුව පැවති තාක්ෂණික දැනුම පිළිබඳ විශිෂ්ට සාක්ෂියකි. ගංවතුර පාලනය, ජලය ගබඩා කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීම සහ ප්‍රවාහන කටයුතු සඳහා මෙම පද්ධති භාවිත කැර තිබූ බව පර්යේෂණවලින් මේවන විට හෙළි වී තිබේ.

ජේඩ් කැටයම් සහ පුරාණ ආගමික විශ්වාස
ලියැන්ෂු ශිෂ්ටාචාරයේ වඩාත් කැපීපෙනෙන පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් වන්නේ ජේඩ් (Jade) පාෂාණයෙන් නිර්මාණය කළ භාණ්ඩ සහ කැටයම්ය.විශේෂයෙන්ම ජේඩ් කොං (Jade Cong) සහ ජේඩ් බී (Jade Bi) ලෙස හඳුන්වන වස්තු ඒ අතර වැදගත් වේ. මේවායේ ඇති සියුම් කැටයම්, හැඩතල සහ නිර්මාණ තාක්ෂණය එම ජනතාව සතුව පැවති උසස් කලාත්මක හා ශිල්පීය දැනුම පිළිබිඹු කරන සාධකයන්ය.
මෙම භාණ්ඩ ආගමික හා චාරිත්‍රානුකූල කටයුතු සඳහා භාවිත කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි පවතී. ඒවා සමාජයේ බලය, තත්ත්වය සහ විශ්වාස පද්ධති නිරූපණය කළ සංකේත ලෙස ද සැලකේන බව මේ පුරාවිද්‍යාත්මක භූමිය පිළිබඳව මා කළ අධ්‍යයනයේදී පැහැදිලි විය.

යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්වීම
ලියැන්ෂු පුරාවිද්‍යාත්මක භූමියේ ජාත්‍යන්තර වැදගත්කම හඳුනාගනිමින් 2019 ජූලි 6 වැනිදා එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම විශේෂත්වයකි.
මෙම පිළිගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ,වසර 5000කට පෙර පැවති නාගරික සංවිධානය, කෘෂිකාර්මික පදනම, ජල කළමනාකරණය, සමාජ ස්ථරීකරණය සහ ආගමික විශ්වාස පිළිබඳ ලැබී ඇති සුවිශේෂී සාක්ෂිය.
මෙම ලෝක උරුම භූමිය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. ඒවා යාඕෂාන් පුරාවිද්‍යාත්මක ස්ථානය, නිම්න මුවදොර උස් වේලි ප්‍රදේශය, තැනිතලාවේ පහත් වේලි ප්‍රදේශය සහ පුරාණ නගර භූමිය ලෙස හැඳින්වේ.

ලියැන්ෂු සංසදය – ලෝක ශිෂ්ටාචාර අතර සංවාදයට නව වේදිකාවක්
ලියැන්ෂු පුරාවිද්‍යාත්මක උරුමය, චීනයේ අතීතය ලෝකයට හඳුන්වා දීමෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර සංස්කෘතික සංවාදයක් ගොඩනැඟීමට ද පදනමක් වී තිබේ. ඒ වෙනුවෙන් ආරම්භ කළ ලියැන්ෂු සංසදය (Liangzhu Forum) ලෝකයේ විවිධ ශිෂ්ටාචාර අතර අවබෝධය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර වේදිකාවක් බව හඳුනා දීම වැදගත්ය.
පළමු ලියැන්ෂු සංසදය 2023 දෙසැම්බර් 3 වැනිදා චීනයේ හැංෂෞ නගරයේදී පැවැත්විණි. චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය සහ ෂෙජියැං පළාත් රජය එක්ව සංවිධානය කළ මෙම සංසදයට රටවල් රැසකින් නියෝජිතයන් 300කට අධික පිරිසක් සහභාගි වූහ.
‘ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ක්‍රියාවට නැංවීම සහ ශිෂ්ටාචාර අතර හුවමාරුව හා අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම’ යන තේමාව යටතේ එය පැවැත්විණි.
දෙවැනි ලියැන්ෂු සංසදය 2024 නොවැම්බර් 25 වැනිදා ආරම්භ වූ අතර, එයට රටවල් සහ කලාප 60කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයෝ සහභාගි වූහ. පුරාවිද්‍යාව, සාහිත්‍යය, සංගීතය සහ සංස්කෘතික උරුමයන් පිළිබඳ සාකච්ඡා එහිදී සිදු කෙරිණි.
තෙවැනි ලියැන්ෂු සංසදය 2025 ඔක්තෝබර් මාසයේදී පැවැත්විණි. ලෝක සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම, පුරාණ ශිෂ්ටාචාරවල වටිනාකම් නූතන සමාජයට සම්බන්ධ කිරීම සහ ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීම එහි සාකච්ඡාවලට ඇතුළත් වී තිබේ.
ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අවබෝධය
ලියැන්ෂු සංසදයේ වැදගත්කම වන්නේ එක් රටක ඉතිහාසය හෝ සංස්කෘතිය ප්‍රචාරය කිරීම පමණක් නොවේ. විවිධ රටවල පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන්, ලේඛකයන්, කලාකරුවන් සහ සංස්කෘතික ක්ෂේත්රයේ විද්වතුන් එකම වේදිකාවකට ගෙන ඒමයි.
එමඟින් ලෝකයේ විවිධ ශිෂ්ටාචාරවලට අයත් උරුමයන් ආරක්ෂා කිරීම, අතීත අත්දැකීම් හුවමාරු කැරගැනීම සහ සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම පිළිබඳ අවධානය යොමු කෙරේ.
2025 වන විට පැවැති සංසද තුන සඳහා රටවල් සහ කලාප 115කින් 1,300කට අධික ආරාධිතයන් පිරිසක් සහභාගි වී ඇති බව චීන රජයේ වාර්තාවක් සඳහන් කරයි.
අතීත උරුමයෙන් අනාගතයට පණිවුඩයක්
ලියැන්ෂු පුරාවිද්‍යාත්මක භූමිය සහ ලියැන්ෂු සංසදය දෙස බලන විට පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ අතීත ශිෂ්ටාචාරයක උරුමය අනාගත ලෝකයට දැනුම ලබාදෙන වටිනා සම්පතක් බවයි.විශේෂයෙන් වසර 5000කට පෙර ජීවත් වූ ජනතාවගේ නාගරික සැලසුම්, ජල කළමනාකරණය, කෘෂිකාර්මික ක්‍රමවේද සහ කලාත්මක නිර්මාණ අදටත් පර්යේෂණයට ලක්වෙමින් පවතීම අගය කළ යුතුය.
එමෙන්ම ලියැන්ෂු සංසදය මඟින් චීනයේ පැරණි ශිෂ්ටාචාරය සහ ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාර අතර සබඳතා ගොඩනැඟීමට අවස්ථාව සැලසී තිබේ.
ඒ අනුව ලියැන්ෂු යනු පුරාණ ඉතිහාසයේ නටබුන් රැසක් සඟවාගත් භූමියක් පමණක් නොව, මානව ශිෂ්ටාචාරයේ ගමන්මඟ අධ්‍යයනය කිරීමටත්, සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමටත්, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් වැදගත් වන ලෝක උරුම මධ්‍යස්ථානයක් ලෙස හඳුනාදීම ඉතා වැදගත්ය.
11 වැනි කොසට

සටහන-
චන්දන විජේකෝන්
UNESCO – ලියැන්ෂු පුරාවිද්‍යාත්මක භූමියේ නිල ඡායාරූප එකතුවෙන්
