
නේපාලයේ ගෝර්කා (Gorkha) දිස්ත්‍රික්කයේ බුධ ගණ්ඩකි (Budhi Gandaki) ගඟ ආශ්‍රිතව ඊයේ (11) උදෑසන හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදහන් වී නිවාස 40ක් පමණ ජල පහරට ගසාගෙන ගොස් ඇති බව බලධාරීන් තහවුරු කැර ඇතැයි Cyber World Press වාර්තා කරයි.
මෝටර් රථ සහ බස් රථ ගමන් කරන පාලම් 2ක් සහ එල්ලෙන පාලම් 4ක් ඇතුළුව පාලම් 6ක් මෙම ගංවතුරට හසුවී ගසාගෙන ගොස් ඇත.
මෙම ව්‍යසනය සැලවීමත් සමඟ අගමැති බලේන් ෂා (Balen Shah) පැවසුවේ සෙවුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ගුවනින් සහො බිම මඟින් නේපාල හමුදා භට පිරිස් යොදවා ඇති බවයි. අගනුවර වන කාත්මණ්ඩු සිට හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකාබද්ධ කණ්ඩායමක්ද ගුවන් මඟින් අදාළ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇත. පැයකට පමණ පසු, අගනුවර සිට කිලෝමීටර් 184ක් පමණ දුරින් පිහිටි මෙම ව්‍යසනකාරී ප්‍රදේශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් කිරීමට හමුදාව සමත් විය.
මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ අනතුරු ඇඟවීමක් කරමින් ස්වදේශ කටයුතු ඇමැති සුදාන් ගුරුං (Sudan Gurung) සඳහන් කෙළේ ගෝර්කා හි බුද්ධ ගණ්ඩකි ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් නේපාලයට තවත් දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවයි. චුමනුබ්‍රි ග්‍රාමීය පළාත් සභාවේ 3 වැනි කොට්ඨාශයේ න්‍යාක්චෙට් සහ ෆිල්ම් බසාර් සම්බන්ධ කළ පාලම ගසාගෙන යාම පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව ඔහු ප්‍රකාශ කෙළේය.
ගැලවුම්කරුවන්, හෙලිකොප්ටර් කණ්ඩායම්, නේපාල පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදවා ගනිමින් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඇමැති වරයා පැවසීය. විශේෂයෙන්ම බුධ ගණ්ඩකි ගඟ ඉවුරේ වාසය කරන පදිංචිකරුවන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස ඔහු දැඩි ලෙස ඉල්ලා සිටියේය.
