
ආහාර, ඉන්ධන සහ පානීය ජලය හිඟවී ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් අතරමං වී ඇති ඉරාන තෙල් ප්‍රවාහන නෞකා 19 – 20ක් වෙත අත්‍යවශ්‍ය ආහාර හා ජල සැපයුම් ලබා දීම වැළැක්වීමට අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට කරන බලපෑම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස පිළිකුලෙන් හෙළා දකින බව නිවෙිදනයක් නිකුත්කරමින් කියා සිටි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් නිතුත්කර ඇති එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහාන් වේ.
අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මෙම අපරාධකාරී ක්‍රියාකලාපයට එරෙහිව නැගී සිටින ලෙසත්, ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පැවරී ඇති සිය වගකීම ඉටු කරන ලෙසත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
2026 සැප්තැම්බර් 30 වැනි දින, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පත වාර්තා කළේ, ශ්‍රී ලංකාව විසින් අදාළ තෙල් ප්‍රවාහන නෞකා (tankers) සඳහා අඛණ්ඩව සැපයුම් ලබා දෙන්නේ නම් සම්බාධක පැනවීමට අමෙරිකානු නිලධාරීන් තර්ජනය කැර ඇති බවයි. දැනටමත් තම භාණ්ඩ (තෙල්) ගොඩබෑම සිදු කැර ඇති මෙම නෞකා – ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ වෙරළේ සිට කිලෝමීටර 24ක් පමණ දුරින් අතරමංව පවතී. අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ගෙන යන නීති විරෝධී යුද්ධය හේතුවෙන්, හිස්ව පවතින මෙම නෞකාවලට නැවත ඉරානය බලා යෑමට නොහැකි වී තිබේ.
මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, ඔක්තෝබර් 4 වැනි දින විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ප්‍රකාශ කෙළේ, ජාත්‍යන්තර සමුද්‍රීය නීතියට සැමවිටම අනුගත වන ශ්‍රී ලංකා රජයට වොෂින්ටනය ( අමෙරිකාව) විසින් බලපෑම් එල්ල කළ බවට පළ වූ වාර්තා ඔහු ප්‍රතික්ෂේප කරන බවයි. කෙසේ වෙතත්, අමෙරිකානු සම්බාධක ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව ඔහු පැහැදිලි කෙළේය.
“නීතිවිරෝධී ඉරාන ආදායම්” මාර්ග අවහිර කිරීම සඳහා තම මිත්‍ර පාක්ෂිකයන් සමඟ කටයුතු කරන බව අමෙරිකානු තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු මීට පෙර ප්‍රකාශ කැර තිබුණි. සම්බාධකවලට ලක්ව ඇති නෞකා සඳහා ඉන්ධන, ආහාර හෝ වෙනත් සැපයුම් ලබා දීම මගින් අදාළ සමාගම් සහ පුද්ගලයින් සිවිල් හෝ අපරාධ දඬුවම් ඇතුළු අමෙරිකානු සම්බාධකවලට ලක්විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
තවද, සැප්තැම්බර් 9 සිට 11 දක්වා කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් සමුද්‍රීය සම්බාධකවලට අනුකූල වීම පිළිබඳ තෙදින වැඩමුළුවක් පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, මහ බැංකුව, වරාය අධිකාරිය සහ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද මෙම වැඩමුළුවට සහභාගී වූහ. ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් අතරමංව ඇති ඉරානයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකා වැනි අමෙරිකානු සම්බාධකවලට ලක්වූ නෞකා සඳහා ඉන්ධන, ආහාර හෝ ජලය වැනි යම් සේවාවක් ලබා දීම මඟින් අදාළ සමාගම් සහ පුද්ගලයන් ද්විතියික සම්බාධක, සිවිල් දඬුවම් හෝ අපරාධ වගකීම්වලට ලක්විය හැකි බවට මෙම නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් සිදු කෙරිණි.
ඇත්ත වශයෙන්ම, නීති විරෝධී ක්‍රියා සිදු කරනු ලබන්නේ අමෙරිකාව විසිනි. අමෙරිකාව විසින් පනවා ඇති ඒකපාර්ශ්වික සහ ද්විතියික සම්බාධක මඟින් ජාත්‍යන්තර නීතිය, ස්වෛරී සමානාත්මතාවය සහ අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්ම උල්ලංඝනය කෙරේ. තවද, කිසිදු යුදකාමී චේතනාවක් නොපෙන්වූ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය නිල නොවන වාර්තාවලට අනුව, අමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අංශ විරෝධය පළ කළ අතර, UNCLOS (එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය) හි 98 වැනි වගන්තිය, SOLAS 1974 සහ SAR සම්මුතිය (1979) යටතේ අදාළ කාර්ය මණ්ඩලවලට සහාය වීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව පෙන්වා දෙමින් වොෂින්ටනය වෙත විරෝධතාවක් ගොනු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේග (NPP) පාලනාධිකාරියේ ප්‍රතිචාරය වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ නීති විරෝධී ක්‍රියා සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම සහ තෙල් ටැංකි නෞකාවල සිරවී සිටින කාර්ය මණ්ඩල වෙත මානුෂීය ආධාර සැපයීම ප්‍රතික්ෂේප කිරීමේ වගකීම තමන් වෙතම පවරා ගැනීමයි.
NPP පාලනාධිකාරියේ මෙම බියගුලු හැසිරීම මඟින්, ඔවුන් කිසියම් ආකාරයක ප්රගතිශීලී හෝ දේශප්‍රේමී බලවේගයක් යැයි පෙන්වා ගැනීමට දරන උත්සාහය මුළුමනින්ම බිඳ වැටේ. එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ (JVP) සමඟ එක්ව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදූරදර්ශී, යුදකාමී සහ අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්ති යාන්ත්‍රණයේ අතකොළුවක් බවට ඔවුන් පත්ව ඇති බව මේ තුළින් හෙළිදරව් වේ. අමෙරිකා එක්සත් ජනපදය සමඟ රහසිගත යුදමය ගිවිසුම්වලට එළැඹීම මඟින් ශ්‍රී ලංකාවේ වසර 70ක් පැරණි නොබැඳි විදේශ ප්‍රතිපත්ති ඉතිහාසය ආණ්ඩුව අත්හැර දමා තිබේද යන ප්රශ්නය මෙහිදී මතු වේ.
එබැවින්, ශ්‍රී ලංකාව සිය මානුෂීය යුතුකම ඉටු කිරීම වැළැක්වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය දරන මෙම නීතිවිරෝධී උත්සාහයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තරයේ හෙළා දකියි. ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත්, සුදුසු උපායමාර්ග සකස් කරන ලෙසත්, අතරමං වී සිටින කාර්ය මණ්ඩල වෙත ආහාර සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. එමෙන්ම, අමෙරිකා එක්සත් ජනපදය සමඟ එළැඹ ඇති යම් රහසිගත ගිවිසුමක් වේ නම් ඒ පිළිබඳව හෙළිදරව් කරන ලෙස ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
වෛද්‍ය ජී. වීරසිංහ
මහලේකම්
2026.10.11
