Impartial news reporting for a stronger democratic society
චීන ඉතිහාසය වෙනස් කළ ඓතිහාසික පා ගමනට වසර 90 යි !පුරාවස්තූන් සහ ඓතිහාසික ලේඛන 300ක් ප්‍රථම වතාවට ප්‍රදර්ශනයට

විසිවැනි සියවසේ චීනයේ පමණක් නොව සමස්ත ලෝක ඉතිහාසය වෙනස් කළ ඓතිහාසික සිදුවීමක නව තොරතුරු අනාවරණය කරමින්, Long March හා සබැඳි පුරාවස්තූන් සහ ඓතිහාසික ලේඛන 300 කට වැඩි ප්‍රමාණයක් බීජිංහි හමුදා කෞතුකාගාරයකදී ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කෙරේ.

1936 ඔක්තෝබර් මාසයේදී රතු හමුදාවේ ප්‍රධාන බළඇණි කුඕමින්ටැංග් (Kuomintang) බළකායන්ගේ වැටලීම බිඳදමා වයඹදිග චීනයේදී නැවත එක්වීමත් සමඟ අවසන් වූ මේ දීර්ඝ පා ගමන ජයග්‍රහණයේ 90 වන සංවත්සරය මේ මාසයට යෙදී ඇති අතර, එම සැමරුමට සමගාමීව චීන මහජන විප්ලවීය හමුදා කෞතුකාගාරය (Military Museum of the Chinese People’s Revolution) හි දී එම ප්‍රදර්ශනය පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් දීර්ඝ පා ගමනේ 90 වැනි සංවත්සරය නිමිත්තෙන් මේ මාසය පුරා නිල උත්සව, ප්‍රදර්ශන හා රාජ්‍ය මට්ටමේ සැමරුම් සහිත තවත් උත්සව ගණනාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දීර්ඝ පා ගමන 1934 (The Long March)

දීර්ඝ පා ගමන යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන ඉතිහාසයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කළ දැවැන්ත සහ ඓතිහාසික උපක්‍රමික හමුදාමය පසුබැස්මකි. 1930 දශකයේ මුල් භාගයේදී, චියැං කායි-ෂෙක් (Chiang Kai-shek) ගේ නායකත්වයෙන් යුත් කුඕමින්ටැංග් හමුදාව (Kuomintang – KMT) විසින් චීන කොමියුනිස්ට්වාදීන් මුළුමනින්ම විනාශ කිරීම සඳහා වැටලීමේ මෙහෙයුම් මාලාවක් දියත් කළේය. 1934 වන විට ජියැංෂි හි පිහිටි කොමියුනිස්ට් බලකොටුව සම්පූර්ණයෙන්ම වටලා තිබිණි. සතුරන්ගේ මේ දැඩි වටලෑමෙන් සහ විනාශයෙන් බේරීම සඳහා කොමියුනිස්ට් රතු හමුදාවට සිය මූලස්ථානය අතහැර පසුබැසීමට සිදු විය. අනතුරුව එම වසරේදීම ඔක්තෝබරයේදී රතු හමුදාවේ සෙබළුන් 86,000 කට අධික සංඛ්‍යාවක් ජියැංෂි ප්‍රදේශයෙන් රහසිගතව සිය ගමන ආරම්භ කළ අතර, චීනයේ දුෂ්කර භූමි, ගංගා, හිමෙන් වැසුණු කඳුකර සහ වගුරු බිම් හරහා කිලෝමීටර් 12,500 ක පමණ දුරක් පයින්ම ගමන් කළහ.

මේ දුෂ්කර දීර්ඝ පා ගමන අතරතුර මීටර් 4,000 ට වඩා උසැති හිමෙන් වැසුණු කඳු පන්ති 20 කට වැඩි ප්‍රමාණයක් සහ මිනිසුන් ගොදුරු කරගන්නා මරණයේ උගුල් ලෙස හැඳින්වුණු විශාල වගුරු බිම් හරහා ගමන් කිරීමට ඔවුන්ට සිදු වූ අතර, දැඩි සිසිල, ඔක්සිජන් හා ආහාර හිඟකම මෙන්ම ලෙඩ රෝග හේතුවෙන් දස දහස් ගණනක් මිය ගියහ. වැඩි දෙනකු සිය කුසගින්න නිවා ගැනීමට ශාක වර්ග, තණකොළ පමණක් නොව ඔවුන් පැලඳ සිටි සම් පටි පවා තම්බා ආහාරයට ගෙන තිබිණි. එපමණක් නොව දීර්ඝ පා ගමන පුරාවටම කුඕමින්ටැංග් හමුදාවේ නිරන්තර ප්‍රහාරයට මුහුණදීමට ද රතු හමුදාවට සිදුවී තිබිණි.

එම වසරේ අගභාගයේ සිදුවූ ෂියැංජියැංග් නදී සටනේදී පමණක් රතු හමුදාවේ අඩකට වඩා අහිමිවූ බව වාර්තා විය.

මාඕ සේතුංගේ නායකත්වය

ඊට මාස කිහිපයකට පසු 1935 ජනවාරියේ ගුයිෂූ නගරයේ පැවති සුන්යි සාකච්ඡාවේදී රතු හමුදාවේ පෙර පැවති දුර්වල හමුදාමය උපායමාර්ග විවේචනයට ලක්වූ අතර, මාඕ සේතුං කෙරෙහි දැඩි විශ්වාසය තබමින් ඔහු පක්ෂයේ සහ හමුදාවේ නායකත්වයට පත් කරගැනීමට පියවර ගත්තේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ හැරවුම් ලක්ෂ්‍යය එය විය. අනතුරුව 1936 ඔක්තෝබර් මාසයේදී මාඕ සේතුංගේ නායකත්වයෙන් යුත් රතු හමුදාව වයඹදිග චීනයේ යුනෑන් පළාතට ළඟා වීමෙන් පසු මේ දීර්ඝ පා ගමන නිමාවට පත්විය. එහෙත් ඒ වන විට පා ගමන ආරම්භ කළ 86,000 කට අධික පිරිසගෙන් අවසානය දක්වා ජීවත්ව සිටියේ 30,000 කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

දැඩි ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සිදුකළ මේ පා ගමන මඟින් චීන කොමියුනිස්ට් පක්ෂය විනාශයෙන් මිදී නව ශක්තියක් ලැබූ අතර, ජනතාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමටත්, චීන කොමියුනිස්ට් පක්ෂය සහ මාඕ සේතුං වටා දැඩි පාක්ෂික පදනමක් සහ විනයගරුක හමුදාවක් නිර්මාණය කිරීමටත් මං විවර විය.

1934 දී ආරම්භ වූ කිලෝමීටර් 12,500 ක පමණ දුරකින් යුතු මේ පා ගමන මඟින් විප්ලවවාදී බලවේග ආරක්ෂා කරගැනීමට හැකිවූවා පමණක් නොව, චීන කොමියුනිස්ට් පක්ෂයට විප්ලවයේ ශක්තිය වර්ධනය කර ගැනීමට නව පදනමක් සහ එම විප්ලවය ජයග්‍රහණය කරා ගෙන යාමට නව ප්‍රවේශයක් ද ලැබිණි.

චීන මහජන විප්ලවීය හමුදා කෞතුකාගාරය

ඓතිහාසික දීර්ඝ පා ගමනේ තොරතුරු, භාණ්ඩ ප්‍රදර්ශනයට තබා ඇති බීජිං නගරයේ චාඕයැං ප්‍රදේශයේ පිහිටි මහල් කිහිපයකින් සමන්විත චීන මහජන විප්ලවීය හමුදා කෞතුකාගාරය යනු චීනයේ හමුදාමය ඉතිහාසය, ආයුධ හා විප්ලවීය සටන් පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කෙරෙන ප්‍රධානතම හා විශාලතම කෞතුකාගාරය වේ. වර්ග මීටර් 1,50,000කට වැඩි භූමි ප්‍රමාණයක පිහිටි මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ 3,40,000කට අධික ප්‍රමාණයක් තිබේ. 1960 වසරේදී මහජනතාව සඳහා විවෘත කළ කෞතුකාගාරයේදී මෙවර සමරනු ලබන දීර්ඝ පා ගමනේ 90 වැනි සංවත්සරය අංග රැසකින් සමන්විතය. එහි වැදගත්ම අංගය වන්නේ පා ගමනේ එදිනෙදා අත්දැකීම් සහ තවත් තොරතුරු ඇතුළත්ව අතින් ලියන ලද ලේඛන එකතුව ය. ඉන් ඇතැම් ලේඛන අදාළ පුද්ගලයන් විසින්ම ලියන ලද ඒවා ය. තවත් කොටසක් ඔවුන්ගේ වාචික ප්‍රකාශ ඇසුරෙන් සකස් කර තිබේ. එහි ඇති අතින් ලියන ලද වටිනා ලේඛන මූලාශ්‍ර සාහිත්‍යමය වටිනාකමක් ද පෙන්නුම් කරයි.

මේ පා ගමන තුළින් පසුගිය දශක 9 පුරා ලොව පුරා මාධ්‍යවේදීන්, ලේඛකයන් හා විද්වතුන් චීන කොමියුනිස්ට් පක්ෂය සහ වත්මන් චීනය සම්බන්ධව පූර්ණ අවබෝධයක් ලබාගැනීමටත්, ඉතිහාසය ගවේෂණය කිරීමටත් කදිම අවස්ථාවක් ලැබි තිබිණි. එහි ඇති භාණ්ඩ අතරට අලුතින් එක් කර ඇති භාණ්ඩ මඟින් පා ගමනේ දුෂ්කරතාව මැනවින් විදහා දක්වනු ඇත. ඊට රතු හමුදාවේ සෙබළකු විසින් පැලඳ සිටි බව කියන හම් පටියක කොටසක් ද ඇතුළත් ය. එහි අනෙක් කොටස සෙබළකු විසින් ආහාරයට ගත් බව සඳහන් වේ. මේ භාණ්ඩ අතර ගුයිෂූ පළාතේ මියාඕ ජනවර්ගයට අයත් සාමාජිකයකු විසින් මාඕ සේතුංට තෑගි කළ මේස රෙද්දක්, සිචුවාන් පළාතේ සෙබළුන් තබා ගිය වොලිබෝලයක් සහ යූනැන් පළාතේ මාර්ගෝපදේශකයකුට පිළිගන්වන ලද ආරක්ෂිත කණ්ණාඩි යුවළක් ද වේ.

වර්ග මීටර් 3,300ක් ආවරණය වන පරිදි පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා පුරා වස්තූන් 875ක් සහ ඓතිහාසික ලේඛන 186ක් ඇතුළත් වන අතර, එහි සමස්ත භාණ්ඩ සංඛ්‍යාව 1,061කි. ඊට ඡායාරූප හා ප්‍රස්ථාර 357ක් සහ වටිනා කලා කෘතීන් 73ක් ද ඇතුළත් ය.

දීර්ඝ පා ගමන සැමරීම සඳහා වසර 1996, 2006 සහ 2016 වසරවලදී ප්‍රදර්ශන තුනක් පවත්වා ඇති අතර, මෙවර පළමු වරට එම ප්‍රදර්ශනයට ඉංග්‍රීසි බසින් තොරතුරු ඇතුළත් කැර තිබේ. එය කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනයේ කොටසක් ලෙස ඉදිරියටත් පවතිනු ඇත. මේ ඓතිහාසික දීර්ඝ පා ගමන අනුස්මරණය කරමින් පසුගිය වසරේ කෞතුකාගාරය නැරඹීමට එක්වූ චීන සම්භවයක් සහිත ලන්දේසි ජාතික විද්‍යාඥවරියක වන එල්සබෙත් වැන් පැරිඩොන් ප්‍රකාශ කර ඇත්තේ ‘සියල්ල ජනතාව වෙනුවෙන් කළ කැප කිරීමක් බවයි. මේ දීර්ඝ පා ගමනේ ආත්මීය හරය තවදුරටත් ජීවමානව පවතින ආකාරය එලෙස පෙනෙනු ඇති බවය.

Prepared based on Xinhua News Agency reports

Chandana Wijekoon

( Cyber World Press)

Follow by Email
LinkedIn
Share
WhatsApp