
ගාසාවට සාම උදා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිපත් කළ සැලසුම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කරුණු 15කින් සමන්විත එම සැලසුම ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කැර ඇත්තේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ වනතුරු ගාසා තීරයෙන් සිය හමුදාව ඉවත් කැර නොගන්නා බවය. ඔහු මේ ප්‍රකාශය සිදු කැර ඇත්තේ පෙරේදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බව වාර්තා වේ.
හමාස් සංවිධානය සැබෑ ලෙසම නිරායුධ වනතුරු කිසිදු ආකාරයකින් සිය හමුදාව ගාසා තීරයෙන් ඉවත් කරනොගන්නා බවත්, සිය පුරවැසියන්ට එල්ල වන තර්ජනය මැඬ පැවැත්වීම සඳහා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත් නෙතන්යාහු වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
හමාස් සංවිධානය ඇතුළුව ගාසා තීරයේ ක්‍රියාත්මක වන සියලු සන්නද්ධ කණ්ඩායම් මුළුමනින්ම නිරායුධ කිරිම සඳහා පසුගිය මාසයේදී ට්‍රම්ප්ගේ සාම මණ්ඩලය ගිවිසුමකට එළැඹී ඇති අතර, ඊට එකඟතාව පළ කරමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ සිය බර අවි බිම තැබීමට නම් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් ඉවත්වීම සහ සියලු ආකාරයේ ආක්‍රමණයන් නැවැත්වීම අනිවාර්ය බවය.
හමාස් සංවිධානයේ නියෝජිතයකු පෙරේදා බීබීසී පුවත් සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකාව සමඟ ඇතිකරගත් ගිවිසුමට එම සංවිධානයේ කැපවීම තහවුරු කර ඇති අතර, කරුණු 15කින් සමන්විත ගිවිසුම බලාත්මක කිරිම සඳහා සහයෝගය ලබා දෙන බව සඳහන් කර තිබේ.( දිනමිණ ඇසුරෙන්)
