
හේමසිරි-පූජිත් නඩු තීන්දුව, මලල්ගොඩ කමිටු වාර්තාව සහ රාජ්‍ය බුද්ධි සේවයේ පූර්ව දැනුම්දීම් පිළිබඳ විග්‍රහයක්
අප්‍රේල් 16 කාත්තන්කුඩි පිපිරීමේ සිට 20 වැනිදා රාත්‍රිය දක්වා ඉහළ බලධාරීන්ට ගිය පණිවුඩ සහ නීතිමය පසුබිම
අධිකරණ තීන්දුව සහ රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යභාරය
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව පැවැති නඩු කටයුතු සහ ඊට අදාළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දු මෙන්ම මලල්ගොඩ පරීක්ෂණ කමිටු වාර්තාව කෙරෙහි නීති ක්ෂේත්රයේ සහ සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන්ම එවකට රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන ලබාදුන් සාක්ෂි සහ පූර්ව බුද්ධි නිවේදන මෙම අධිකරණ ක්රියාමාර්ගයන්හි ප්‍රධාන සාධකයක් බවට පත්විය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද මලල්ගොඩ කමිටු වාර්තාව පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ද දැඩි විවේචනයට ලක්වූ අතර, පසුකාලීනව නිලන්ත ජයවර්ධන ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා ලෙසට අධිකරණමය නිර්දේශ ඉදිරිපත් වී තිබිණි. කෙසේ වෙතත්, ප්‍රහාරයට පෙර දිනවල සිදුවූ බුද්ධි තොරතුරු හුවමාරුව පිළිබඳ නීතිමය ලේඛන සහ සාක්ෂි මගින් සංකීර්ණ පසුබිමක් අනාවරණය වේ.
ප්‍රහාරයට පෙර දින 05: කාත්තන්කුඩි පිපිරීම සහ බුද්ධි නිවේදන
2019 අප්‍රේල් 16 වන දින රාත්‍රී කාත්තන්කුඩි, තලන්කුඩා ප්‍රදේශයේ ඉඩමක සිදු වූ යතුරුපැදි පිපිරීම පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය විසින් වහාම විමර්ශන ආරම්භ කරන ලදී. මෙම පිපිරීම සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලද පෙරහුරුවක් (dry run) බව හඳුනාගත් රාජ්‍ය බුද්ධි සේවය, ඒ පිළිබඳව අප්‍රේල් 18 වන දින ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
තවද, මෙම විමර්ශනය කාත්තන්කුඩි පොලිසියට පමණක් සිදුකළ නොහැකි තරම් සංකීර්ණ එකක් බැවින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරන ලෙස ද අප්‍රේල් 19 වන දින බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී. අප්‍රේල් 18, 19 සහ 20 යන දිනවල ඉදිරිපත් කළ මෙම වාර්තා, ප්‍රහාරය සිදුවීමෙන් පසු එනම් අප්‍රේල් 21 වන දින පොලිස්පතිවරයා විසින් “වැඩිදුර වාර්තාවක් මැයි 05 වනදාට පෙර ලබාදෙන ලෙස” සටහන් කරමින් නැවත රාජ්‍ය බුද්ධි සේවය වෙත යොමුකර තිබීම ද මලල්ගොඩ කමිටු වාර්තාවේ නිරීක්ෂණයට ලක්ව තිබිණි.
අප්‍රේල් 20 වන දින පස්වරු 4:12 ට ලැබුණු තොරතුරකට අනුව සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 21 වන දින හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ස්ථාන 8 කට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව තහවුරු විය. මෙම තොරතුර දුරකථන ඇමතුම්, SMS සහ WhatsApp ඔස්සේ ආරක්ෂක ලේකම්, පොලිස්පති, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, CID සහ STF ප්‍රධානීන්ට එදිනම පස්වරුවේ දැනුම් දුන් බව බුද්ධි සේවා වාර්තාවල සඳහන් වේ.
මලල්ගොඩ කමිටු වාර්තාවේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණ
ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ (මලල්ගොඩ කමිටුව) විධායක සාරාංශයට අනුව, 2015 වසරේ සිටම මෙරට තුළ අයි.එස්. (ISIS) මතවාදය සහ අන්තවාදී කටයුතු වර්ධනය වීම පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය විසින් වාර්තා 170 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී සහ පොලිස්පති වෙත යොමුකර තිබේ.
අප්‍රේල් 09 වන දින ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී ද අප්‍රේල් 04 වන දින ලත් පූර්ව බුද්ධි තොරතුර පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරුන් හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දැනුවත් කිරීමට කටයුතු නොකිරීම කමිටුවේ දැඩි නිරීක්ෂණයට ලක්ව ඇත. එමෙන්ම පොලිස්පතිවරයා විසින් අදාළ බුද්ධි තොරතුරු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුට පමණක් සීමා කරමින් බෙදා හැරීම හේතුවෙන්, නැගෙනහිර ඇතුළු පළාත් 8 ක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජනාධිපති/අගමැති ආරක්ෂක අංශ දැනුවත් නොවීම විශාල අඩුවක් ලෙස පෙන්වා දී තිබුණි.
රාජ්‍ය බුද්ධි සේවයට විදේශීය බුද්ධි අංශයකින් ලද තොරතුර ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලැබී තිබුණද, එය නිසි ලෙස පහළ නිලධාරීන් වෙත සහ ක්ෂේත්‍ර මට්ටමට ගලා නොයාම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී යාමට ප්‍රධාන හේතුවක් වූ බව කමිටු වාර්තාවේ සඳහන් වේ.
නීතිමය පසුබිම සහ අධිකරණ තීන්දු
අධිකරණය හමුවේ පැවැති දීර්ඝ නඩු විභාගවලදී බහුතර සහ සුළුතර විනිසුරු මතයන් ඉදිරිපත් වූ අතර, නිලධාරීන් අතින් සිදුවූ රාජකාරිමය පැහැරහැරීම් සහ බුද්ධි තොරතුරු කෙරෙහි දැක්වූ උදසීන පිළිවෙත සම්බන්ධයෙන් නීතිමය වගවීම තීරණය විය.
මෙම නඩු තීන්දුවලදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ලබාදුන් සාක්ෂි සහ ලේඛනමය සාක්ෂි ප්‍රධාන පදනමක් වූ අතර, ජාතික ආරක්ෂක පද්ධතියේ පැවැති ව්‍යුහාත්මක අඩුපාඩු සහ ආයතන අතර සම්බන්ධීකරණය නොමැතිවීම ද මෙහිදී මැනවින් අනාවරණය විය. බුද්ධි අංශ සඳහා ව්‍යවස්ථාපිත පනතක් මගින් නීතිමය රාමුවක් සකස් කිරීමේ සහ තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක විය හැකි නියමිත ක්‍රමවේදයක් (SOP) සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙම සිදුවීම් මාලාව හරහා පෙන්වා දී ඇත.
සබැඳි අධිකරණ තීන්දු
https://theleader.lk/images/pdf/2026/sc_tab_3_2023.pdf
2019අප්‍රේල් 21ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩල වාර්තාව : විධායක සාරාංශය
1. 2015 සිට ලැබුණු බුද්ධි තොරතුරු සහ වගකිවයුත්තන්ගේ අසමර්ථතාව
පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ හෙළිදරව් වූ ආකාරයට, ශ්‍රී ලංකාව තුල අයි එස් කණ්ඩායම් හා සම්බන්ධිතසිද්ධීන්ගේ වැඩි වීම් පිළිබඳව, රාජ්‍ය බුද්ධි සේවය විසින් ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී සහ පොලිස්පති හට 2015 වර්ෂයේ සිට බුද්ධි තොරතුරු ඉදිරිපත් කර ඇත. මෙම කරුණු සතිපතා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් වලදී සහ අවස්ථා කීපයකදී ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡා කර ඇති නමුත් කිසිදු සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක් පිළිබඳව ස්ථාවර තීරණයක් ගෙන නොමැත.
කෙසේ වෙතත් පරීක්ෂණ මණ්ඩලය විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණ නම් සාම්ප්‍රදායික ඉස්ලාම් අදහස් සහ අන්තවාදය අතර පවතින වෙනස තේරුම් ගැනීමට වගකිව යුත්තන් විසින් අසමත් වීමයි. කෙසේ වුවද පොලිස් නිලධාරියෙකු හෝ ජාතික ආරක්ෂාව සඳහා වගකිව යුතු කිසිදු පුද්ගලයෙකු හට වාර්ගික හා ආගමික සංහිඳියාව පිලිබඳව පමණක් සලකා, ජාතික ආරක්ෂාව අවධානමට ලක් වන අවස්ථාවන්හිදී එය මඟහැර සිටීමට කිසිදු යුතුකමක් නැත.
2. අප්‍රේල් 04වන දින ලැබුණු පූර්ව බුද්ධි අත්තිකාරම් නිවේදනය
අධ්යක්ෂ රාජ්‍ය බුද්ධි සේවය, පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ සාක්ෂි දෙමින්, 2019 අප්‍රේල් 09 දින ජාතික බුද්ධි ප්‍රධානී විසින් පොලිස්පති වෙත නිකුත් කරන ලද බුද්ධි අවදානමක් පිළිබඳව සඳහනක් සිදු කරමින්, 2019 අප්‍රේල් 04 දින ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් සිදු කල හැකි ප්‍රහාරාත්මක සැලැස්මක් පිළිබඳව වාචික තොරතුරක් ලැබුණු බව සහ ඊට පසු දින විදේශීය ප්රතිපාර්ශවයක් විසින් එම වාචික තොරතුර ලිඛිතව තහවුරු කරන ලද බවත් සඳහන් කරන ලදි.
ඔහුගේ 2019 අප්‍රේල් 07 දිනැති ලිපිය මඟින් මෙම තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානී වෙත, දැනගැනීම සහ උපදෙස් සඳහා ඉදිරිපත් කර ඇති අතර, ආරක්ෂක ලේකම් හටද වාචිකව දන්වා ඇත. 2019 අප්‍රේල් 9 දින වන විට ලැබුණු බුද්ධි තොරතුරු ඔහු විසින් විශ්ලේෂනය කොට, එම තොරතුරු ඔහු විසින් දැනටමත් පවත්වමින් සිටින මාවනැල්ල ප්‍රහාරය සහ වනාතවිල්ලුව කඳවුර පිලිබඳව වන විමර්ශන සඳහා වැදගත් වන හෙයින්, ඉහත කී ප්‍රහාරයට සම්බන්ධ වන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් සකසා පොලිස්පති වෙත සහ එහි පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
3. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සහ බුද්ධි තොරතුරු සීමා කිරීම
2019 අප්‍රේල් මස 9 වන දින පොලිස්පති වෙත මෙම බුද්ධි තොරතුරු ලැබුණු පසු “සුදුසු කටයුතු සඳහා” යන සටහනක් යොදා එම තොරතුරු බෙදා හැරීමට තීරණය කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙක් වන පහත නිලධාරීන් සමඟ පමණි.
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා විශේෂ කාර්ය බලකාය
- නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක කොට්ඨාශය
- අධ්යක්ෂ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය
පරීක්ෂණ මණ්ඩලය විසින් තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී, පොලිස්පති වරයා විසින් මෙම බුද්ධි අංශ තොරතුරු තෝරාගත් නිලධාරීන් සිව්දෙනෙකු හට පමණක් සීමා කිරීම මඟින් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින නැගෙනහිර පළාත ඇතුළු පළාත් අටක ආරක්ෂාව සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙකු ඇතුළු අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, එන්. ටී. ජේ සංවිධාන කටයුතු සහ එහි නායක සඟරාන් හෂීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රභූ ආරක්ෂාව භාරව කටයුතු කරන ජනාධිපති ආරක්ෂක අංශයේ සහ අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානීන් ද අගතියකට පත් කරනු ලැබ ඇත.
4. කාත්තන්කුඩි යතුරුපැදි පිපිරීම සහ සහරාන්ගේ පෙරහුරුව
2019 අප්‍රේල් 17 දින මොහමඩ් මුස්තාපා හසනුන් ෆස්රි නමැත්තෙකු විසින් කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති අතර ඔහුට අයත් ඉඩමක් තුළ 16 වන රාත්‍රියේ යතුරු පැදියක් ගිනි ගැනීමෙන් පිපිරීමක් සිදුවී ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම තොරතුරු මත ඒ පිළිබඳ පරීක්ෂණයට කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් මෙම වෙරළ තීරයට යාබද අක්කර 43 ක හිස් භූමිය පරීක්ෂා කර ඇත.
එදිනම මෙම තොරතුරු පිළිබඳව දැනගත් රාජ්‍ය බුද්ධි සේවය සහ එම නිලධාරීන්ද මෙම ස්ථානය පරීක්ෂා කර ඇත.
පිපිරුම සිදු වූ ස්ථානයට ගිය නිලධාරින්හට යකඩ අංශු විශාල ප්‍රමාණයක් යොදා නිපදවා ඇති යතුරු පැදි බෝම්බය පුපුරා ගොස් ඇති බවත්, මෙම පිපිරීම සිදුවන්නට ඇත්තේ කණ්ඩායමක් විසින් අත්හදා බැලීම් සිදු කරන විට බවත් මෙවැනි බෝම්බ මඟින් තවදුරටත් දරුණු හානි සිදු කිරීමේ අදහසින් බවටත් සැක පහල වී ඇත.
2019 අප්‍රේල් 18 වන දින අධ්යක්ෂ බුද්ධි අංශ සේවය විසින් මෙම පිපිරීම හා ඊට අදාල සියළුම තොරතුරු සහ ඉන් අනතුරුව බුද්ධි අංශ විසින් පහත සිද්ධීන්ට අදාලව සොයගත් සියළු තොරතුරු පොලිස්පතිවරය වෙත ලබා දී ඇත.
(අ) 2018 දෙසැම්බරයේ මාවනැල්ල දී සිදු වූ සිද්ධිය සහ
(ආ) වනාතවිල්ලුවේදී සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව
පොලිස්පතිවරයාට ලබා දුන් ඉහත බුද්ධි තොරතුරු වලට අමතරව, අධ්යක්ෂ බුද්ධි අංශ සේවය විසින් තවත් වාර්තා දෙකක්, අප්‍රේල් 19 සහ 20 වන දිනවල පොලිස්පතිවරයා වෙත ලබා දී ඇත.
2019 අප්‍රේල් 20 වන දින ලැබුණු විශේෂ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පති, ආරක්ෂක ලේකම්, බුද්ධි ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත යන සියළු නිලධාරීන් බරපතල ලෙස අසමත්ව ඇති බව පරීක්ෂණ මණ්ඩලය විසින් නිරීක්ෂණය කර තිබේ.
විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශයන්
5. බුද්ධි සේවා සඳහා ව්‍යවස්ථාපිත නීතිමය රාමුවක අවශ්‍යතාව
රාජ්‍ය බුද්ධි සේවයට විදේශ රටකින් ලද බුද්ධි තොරතුර ආරක්ෂක අමාත්‍යාංශයට බැහැර කර ඇති නමුත්, ඉන් ඔබ්බට එය නිසි ලෙස බැහැර කර නොතිබීම මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට තිබූ අවස්ථාවන් ගිලිහී යාමට එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව නිරීක්ෂණය කෙරේ.
දැනට ක්‍රියාත්මක ප්‍රධාන බුද්ධි ආයතන කිසිවක් ව්‍යවස්ථාපිත නීතිමය රාමුවකින් ආවරණය වූ ආයතන නොවේ. ඒවා ක්‍රියාත්මක වනුයේ ඒ ඒ අවස්ථාවන්හි උද්ගතවන අවශ්‍යතාවයන්ට අනුකූලව කැබිනට් මණ්ඩල තීරණ හෝ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගනු ලබන තීරණයන් මතය. මෙය අසතුටුදායක තත්ත්වයකි. විශේෂයෙන් බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ භාරධූර කාර්යයේ නිරතව සිටින නිලධාරීන්ට නීතිමය රැකවරණයක් නොමැති වීම අනතුරුදායක තත්ත්වය වනවා සේම, ඔවුනට අවශ්‍ය තොරතුරු ඇතැම් ආයතන හා පුද්ගලයින්ගෙන් ලබා ගැනීමට ද එය බාධාවක් වේ. එසේම පොලිසිය විසින් සිදුකරන ඇතැම් විමර්ශනයන්හිදී බුද්ධි නිලධාරීන් අධිකරණ වලට කැඳවීමේදී ඔවුන්ගේ අනන්‍යතාවය සමාජයට එළි දැක්වෙන අවස්ථාවන් ද ඇත. එබැවින්, මෙම සියලු කරුණු ආවරණය වන පරිදි යෝජිත බුද්ධි සේවාව ව්‍යවස්ථාපිත පනතකින් ස්ථාපිත කිරීම අවශ්‍ය කෙරේ.
6. ඉහළ තනතුරුවල වගවීම සහ පොලිස් පරිපාලන ව්‍යුහයේ අඩුපාඩු
2019.04.21 දින එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කල්වේලා ඇතිව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වලක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට නොහැකි වූයේ විශේෂයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා එම බුද්ධි තොරතුර සම්බන්ධයෙන් අනුගමනය කල නිද්‍රාශීලී පිළිවෙත නිසා බව පෙනී ගොස් ඇත. එබැවින්, මෙම තනතුරු වලට නිලධාරීන් පත්කිරීමේදී එම විෂයය පිළිබඳ පරිනත භාවයක්, ප්රවීනත්වයක් සහ කැපවීමක් සහිත නිලධාරීන් පමණක් පත් කිරීමට අදාල බලධාරීන් වග බලාගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.
2019.04.21 දින එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීමේ වගවීම පොලිස්පතිවරයා ප්රමුඛ එම ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අපොහොසත් වූ නිලධාරීන් වෙත පැවරෙන බව පරීක්ෂණ කමිටුව ඉදිරියේ අනාවරණය වූ සාක්ෂි වලින් තහවුරු වේ. මෙම තත්ත්වය උද්ගත වීමට බලපෑ කරුණු අතර, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන ව්‍යුහයේ පවත්නා අඩු පාඩු රැසක්ද එයට හේතු වී ඇති බව පෙනී යන ලදී. විශේෂයෙන් මෙවැනි බුද්ධි තොරතුරක් ලද පසු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දිසා භාර නියෝජ්‍ය පොලිස්පති, කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී/ පොලිස් අධිකාරී, දිස්ත්‍රික්ක භාර පොලිස් අධිකාරී/ සහකාර පොලිස් අධිකාරී සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳව පැහැදිලි චක්‍රලේඛ හෝ නියෝග දක්නට නොලැබීම විශාල අඩු පාඩුවකි. එම හේතුවෙන් කිසියම් කරුණක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී සමස්ත පොලීසිය තුලම ඒකාකාරී බවක් දක්නට නැත.
උදාරහරණ: වශයෙන් 2019.04.21 දින එල්ල වූ ප්‍රහාරයට අදාල බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ඉහත නිළධාරීන් එකිනෙකා ක්‍රියාකර ඇත්තේ විවිධ ආකාරයෙනි. එයට අතිරේකව එක් එක් නිළධාරියා විසින් නිකුත් කරණු ලබන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට විධිමත් පසුවිපරම් ක්‍රමවේදයක් අනුගමනය කරන බවක්ද දක්නට නොලැබේ. එබැවින් මෙම කමිටු වාර්තාවේ සඳහන් පොලිසිය පාර්ශවයෙන් සිදු වී ඇති සියළු අඩුපාඩු මැනවින් අධ්‍යනය කර ඒවා මඟහැරලීම සඳහා ක්‍රමවේද සකස් කිරීමට පොලීසිය විෂය භාර අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කිරීමට සුදුසු බවට යෝජනා කරන්නෙමු.
7. බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වල පැවැති ලිහිල්භාවය
2019.04.21 දින ප්‍රහාරයට ප්‍රථම 2019.04.09 දින මෙම රැස්වීම ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති අතර, ඒ වන විට ඉහත ප්‍රහාරයට අදාල පළමුවන බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ විසින් ජාතික බුද්ධි ප්‍රධානී වෙත යොමු කරනු ලදුව, ඔහු විසින් ඒ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා ද දැනුවත් කර තිබී ඇත. එහෙත් 2019.04.09 දින පැවැති රැස්වීමේදී මෙම බුද්ධි තොරතුර පිළිබඳව හෝ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර හෝ පිළිබඳව කිසිවක් සාකච්ඡා වූ බවක් අනාවරණය නොවේ. මෙම රැස්වීමේ අරමුණ බුද්ධි සම්බන්ධීකරණය වුවද රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ විසින් 2019.04.07 දින ලබාදුන් ඉහත සඳහන් බුද්ධි තොරතුර ගැන අවම වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් පවා දැනුවත් කිරීමට ආරක්ෂක ලේකම් විසින් ක්‍රියා කර නොමැත.
8. ජාතික ආරක්ෂාව පැහැර හැරීම සහ අන්තවාදයේ වර්ධනය
2019.04.21 දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ හේතු අතර ඒ අවස්ථාව වන විට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ අවධානය ඉතා පහල මට්ටමක පැවතීම ප්‍රධාන සාධකයක් වූ බව අනාවරණය වේ. එය සනාථ වනුයේ ප්‍රහාරය පිළිබඳව පළමුවන බුද්ධි තොරතුර 2019.04.05 දිනත්, එය වඩාත් තහවුරු කරමින් 2019.04.20 දිනත් පැහැදිළි බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීමෙන්ය.
ශ්‍රී ලංකාව තුල ඉස්ලාමීය අන්තවාදය පැතිර යාම පිළිබඳ 2015 වසරට පෙර සිටද කථාබහට ලක් වූවත්, එය සනාථ කිරීම සඳහා වූ ප්‍රථම සාධකය ඉදිරිපත් වූයේ 2015 වසරේදීය. එනම් ISIS ත්රස්තවාදීන් සමඟ එක්ව සිටි ශ්‍රී ලාංකිකයකු 2015 වර්ෂයේදී සිරියාවේදී මියගිය බව වාර්තාවීමත් සමඟය. අනතුරුව 2017 වසරේදී ද ඒ අයුරින්ම තවත් ශ්‍රී ලාංකිකයකු සිරියාවේදී මරණයට පත් වූ අතර එම වසර වන විට තවත් ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ඔවුන්ගේ පවුල් සාමාජිකයින් සමඟ මුළු ගණන තිස්හතර දෙනෙකු සිරියාවට ගොස් ඇති බව බුද්ධි අංශ මගින් අනාවරණය කර ගන්නා ලදී.
මෙම ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වල වර්ධනය පිළිබඳව බුද්ධි අංශ දිගින් දිගටම වාර්තා කරමින් සිටියදී, ශ්‍රී ලාංකික ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක ප්‍රථම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව 2018.12.23 සිට 2018.12.26 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ වාර්තා වේ. එනම් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකටත්, මහනුවර හා රඹුක්කන ප්‍රදේශයන්හි කතෝලික සහ හින්දු ප්‍රතිමා කිහිපයකටත් අලාභ හානි සිදු කිරීමය.
9. මාවනැල්ල, වනාතවිල්ලුව සහ NTJ තහනම් නොකිරීමේ ප්‍රතිවිපාක
අනතුරුව මෙම සිද්ධීන්ට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලද විමර්ශනයන්හි ප්‍රතිඵලයක් වශයෙන් ත්රස්තවාදීන් විසින් සිය පුහුණු කටයුතු සඳහා මෙන්ම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයටත් අවි ආයුධ සඟවා තබා ගැනීමටත් භාවිතා කළ බවට නිරීක්ෂණය වන රහසිගත ස්ථානයක් 2019.01.16 දින පුත්තලමේ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. එසේම එම ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය රාශියක්ද බෝම්බ සෑදීමට ගන්නා උපාංග ඇතුළු තවත් සංග්‍රාමික උපකරණ රැසක් ද සොයා ගෙන ඇත. ඒ සමඟම මෙම ස්ථානය සහ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට අලාභ හානි සිදු කළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම අතර පවත්නා සබඳතාවයත්, ඔවුන් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ (NTJ) නායක මොහොමඩ් සහරාන් අතර පවත්නා සබඳතාවයත් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවාව සමත් වී ඇත.
මෙය මොහොමඩ් සහරාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තවාදී කණ්ඩායම නුදුරු අනාගතයේදීම පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව සියළු බලධාරීන් විසින් අවබෝධ කරගත යුතුව තිබූ බරපතල අවස්ථාවකි. විශේෂයෙන් වනාතවිල්ලුවේදී සොයා ගනු ලැබූ සංග්‍රාමික උපකරණ පිළිබඳව මාධ්‍ය තුළින් පවා විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබූ හෙයින් ඒ පිළිබඳව මෙරට පොදු මහ ජනතාවගේ පවා අවධානය විශාල වශයෙන් යොමු වූ කරණක් බවට පත්වී තිබුණි. එහෙත් මේ පිළිබඳව රජය පාර්ශ්වයෙන් දැඩි අවධානයක් යොමු වූ බවක් දක්නට නැත.
එසේ තිබියදී 2019.04.16 දින මඩකලපුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය සවිකරන ලද යතුරු පැදියක් අක්කර 43 ක් පමණ විශාල හිස් ඉඩමක් තුළදී පුපුරුවා ගැනීමක් පිළිබඳව, පොලිසියට වාර්තා වන අතර මේ පිළිබඳව තොරතුරු සොයා බැලූ රාජ්‍ය බුද්ධි සේවාව විසින් මෙය කිසියම් කණ්ඩායමක් විසින් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇති පිපිරීමක පෙරහුරුවක් විය හැකි බවට 2019.04.18 දින පොලිස්පතිවරයාට දන්වා ඒ ගැන ඔහුගේ අවධානය යොමු කර ඇත. එසේම මෙම පිපිරවීම සහ මාවනැල්ල හා වනාතවිල්ලුව සිදුවීම් අතරෙහි සබඳතාවයක් පවත්නා බවත් එය මොහොමඩ් සඟරාන්ගේ කණ්ඩායමේ ක්‍රියාවක් බවටත් රාජ්‍ය බුද්ධි සේවාව විසින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.
සියලු කරුණු එසේ සිදුවෙමින් පැවතියදී, නුදුරු දිනකදීම මොහොමඩ් සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කතෝලික පල්ලිවලට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් පවතින බවට බුද්ධි තොරතුරක් 2019.04.05 රාජ්‍ය බුද්ධි සේවාවට ලිඛිතව ලැබෙන අතර ඔහු එය විශ්ලේෂණය කිරීමෙන් පසු 2019.04.07 දින ජාතික බුද්ධි ප්‍රධානී වෙත යොමු කර ඇත. එම බුද්ධි තොරතුර 2019.04.20 දින පස්වරුවේදී නැවත තහවුරු කරමින් ප්‍රහාරය එදින රාත්‍රි හෝ පසු දින එනම් 2019.04.21 දින සිදුවන බවට නිශ්චිතව දන්වා ඇත. සියල්ල එසේ සිදු වෙමින් පැවතියදී, ත්රස්තවාදීන් සැලසුම් කළ පරිදි ප්‍රහාරය 2019.04.21 දින පෙ:ව: 08.45ට ආරම්භ මධ්‍යහනය දක්වා සිදු කරන ලදී.
මෙම මණ්ඩලය ඉදිරියේ අනාවරණය වූ සාක්ෂි අනුව ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් අන්තවාදය ආරම්භ වීම සහ එය ක්‍රමානුකූලව වර්ධනය වීමට අදාලව රාජ්‍ය බුද්ධි සේවාව විසින් 2015 වසරේ සිට වාර්තා 170 ක් පමණ ආරක්ෂක ලේකම්, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් අදාල නිලධාරීන් වෙත යොමු කර තිබී ඇත. එසේම මෙම තත්ත්වය වරින් වර පසුගිය වසර කිහිපය තුල ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීත් ආරක්ෂක මණ්ඩලයේදීත් සාකච්ඡාවට භාජනය වූ බව සාක්ෂිකරුවන්ගෙන් අනාවරණය විය. එසේම මෙරට මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ 2016.11.18 වන දින අය වැය විවාදය අවස්ථාවේදී දීර්ඝ කරුණු දැක්වීමක්ද සිදුකර ඇති බව අනාවරණය විය.
මෙකී වාතාවරණය යටතේ සහ විශේෂයෙන් 2018.12.23 වන දින මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට අලාභ හානි කිරීමේ සිද්ධියත් 2019.01.16 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලමේ වනාතවිල්ලුව ප්‍රදේශයේදී මොහොමඩ් සහරාන් හෂීම්ගේ කණ්ඩායමට අයත්ව තිබූ රහසිගත ස්ථානයක තිබී බෝම්බ සෑදීමට උපයෝගී කරගත හැකි භාණ්ඩ සමඟ සංග්‍රාමික උපකරණ රැසක් සොයාගනු ලැබූ අවස්ථාවේදීත් එහි ඇති භයානක බව වටහාගෙන මෙම අන්තවාදී කණ්ඩායම මැඩ පැවැත්වීමට රජයේ පාර්ශ්වයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ යුතුව තිබුණි. විශේෂයෙන් මොහොමඩ් සඟරාන් භෂීම් නායකත්වය දෙනු ලබන බවට හඳුනාගෙන තිබූ ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කිරීමට පියවර ගතයුතුව තිබුණි. නමුත්, එවැන්නක් එම අවස්ථාවේදී සිදු නොකිරීම මොහොමඩ් සහරාන් හෂීම්ගේ කණ්ඩායමට 2019.04.21 වන දින ප්‍රහාරය එල්ල කිරීම දක්වා ඔවුන්ගේ සැලසුම් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය වීමට හේතු වී ඇති බව පෙනේ.
සබැඳි ලිපි :
පාස්කු තීන්දුවේ බහුතර සහ සුළුතර මත: පූජිත්- හේමසිරි නඩු තීන්දුව ගැන Satahan Radio විග්‍රහයක්!
පාස්කු තීන්දු ප්රකාශනයේ ඇතුළාන්තය: හේමසිරිට සහ පූජිත්ට එරෙහි සම්පූර්ණ තීන්දුව මෙන්න!
Source- The Leader
