
බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් 824ක් මේ වසරේ පළමු මාස 6 ඇතුළත සිදුවී ඇතැයි එරට සුළුතරයන් සඳහා වන මානව හිමිකම් කොංග්‍රසය නිකුත් කළ වාර්තාවකින් හෙළිවී ඇතැයි Cyber World Press සඳහාන් කරයි.
එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ සංගම් පරිශ්‍රයේදී මේ නිල වාර්තාව ඉදිරිපත් කැර ඇති අතර, බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 64කින් 63කම ව්‍යාප්ත වී ඇති ආගමික සහ සුළුතර ප්‍රජාවට බලපෑ පීඩනකාරී සිදුවීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු ඊට ඇතුළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කැර ඇති බව Cyber World Press සඳහාන් කරයි.

ඝාතන සහ අබිරහස් මරණ 168ක්, පැහැරගැනීම් සහ ශාරිරික වධහිංසා 223ක්, ලිංගික හිංසන, ස්ත්‍රී දූෂණ සහ සමූහ දූෂණ 41ක් සහ කෝවිල් හා දේවස්ථානවලට පහරදීම් 141ක්, ඉඩම් අත්පත් කැර ගැනීම්, දේපොළ අහිමිකිරීම්, ගිනි තැබීම් හෝ කොල්ලකෑම් 234ක් සහ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ සිදුවීම් 17ක් එම කාලසීමාව තුළ වාර්තා වී ඇතැයි සඳහාන් වෙයි.
මේ සිදුවීම් අහඹු ලෙස සිදුවුවාක් නොවන බවත්, සංවිධානාත්මක කණ්ඩායම් සුළුතර ප්‍රජාව ඉලක්ක කරමින් චේතනාන්විතව සිදුකැර ඇති බවත්, බංග්ලාදේශයේ සුළුතරයන් සඳහා වන මානව හිමිකම් කොංග්‍රසය පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ. අන්තර්වාර පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයකින් නව රජයක් පත්වුවද, බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාව මුහුණ පාන අනාරක්ෂිතභාවය මෙතෙක් අවසන් වී නැති බවත්, එම සිදුවිම්වලට සම්බන්ධවූවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ වරදකරුවන්ට දඬුවම් දීම රජයේ වගකීමක් බවත් සුළුතරයන් සඳහා වන මානව හිමිකම් කොංග්‍රසය අවධාරණය කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
