Impartial news reporting for a stronger democratic society
ගිනි අවි පෙන්වා  අවන්හලක් කොල්ලකෑ ඇමැති ආරක්ෂකයන්ට බරපතළ වැඩසහිත සිරදඬුවම්

දෙහිවල ප්‍රදේශයේ අවන්හලකදී මෙයට වසර 18කට පෙර කලහකාරී ලෙස හැසිරෙමින්, ගිනිඅවි පෙන්වා එහි සේවකයන්ට පහරදී, දේපොළවලට හානි  කැර කොල්ලකෑම් සිදු කිරීමේ චෝදනාවලට වැරදිකරුවන් වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට වසර 09 බැගින් වූ බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, අදාළ දඬුවම් කාලය වසර 3ක කාලයක් තුළ ගෙවී යන අන්දමට (concurrently) ක්‍රියාත්මක විය යුතු බවට නියෝග කෙරිණි.
මෙලෙස දඬුවම් නියම වූයේ සිද්ධිය වන අවස්ථාවේ ඇමැති ආරක්ෂක අංශයට (MSD) අනුයුක්තව සේවය කළ, වත්මන් මීගමුව පොලිස් කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් වන ලියනගේ වසන්ත ජයකොඩි සහ චමින්ද බණ්ඩාර සකලසූරිය නැමැති නිලධාරීන් දෙදෙනාට සහ ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයකුටය.
2008 ජූලි 29 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දෙහිවල පිහිටි ‘ද ස්ටේෂන් ෆැමිලි රෙස්ටෝරන්ට්’ නමැති අවන්හලට ඇතුළු වී පිස්තෝල පෙන්වා තර්ජනය කරමින් එහි සේවකයන්ට පහර දී තුවාල සිදු කිරීම, අවන්හලේ රුපියල් 19,500ක දේපොළවලට අනර්ථයක් සිදුකිරීම සහ රුපියල් 11,600ක දේපොළ කොල්ලකෑම සම්බන්ධයෙන් නීතිපතිවරයා මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කැර තිබුණි.
අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ විත්තිකාර පොලිස් නිලධාරීන් ඇමැති ආරක්ෂක අංශයේ නිල බලය භාවිත කරමින් මෙම අපරාධය සිදුකර ඇති බවට ඉදිරිපත් වූ සාක්ෂි මඟින් පැමිණිලි පාර්ශ්වය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කැර ඇති බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කෙළේය.
දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ වාචික හා භෞතික සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන් අදාළ සියලු චෝදනාවලට වැරදිකරුවන් බව නිගමනය කළ අධිකරණය, පූර්ව චෝදනාවල බරපතළකම සලකා බලමින් මෙම සිරදඬුවම් නියම කෙළේය.

Source- The Leader

Follow by Email
LinkedIn
Share
WhatsApp