Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකාවේ මිනිස් – අලි ගැටුම මඩින්න චීනයෙන් හරිත විසඳුමක්!

රටේ දිගුකාලීන මිනිස් අලි ගැටුම මැඩපැවැත්වීම සඳහා අදහස් කරන උණ බම්බු මත පදනම් වූ ජෛව වැටක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහ පර්යේෂණ සහාය ලබා දීමට චීනය එකඟ වී තිබේ.

පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් බීජිං හි පිහිටි ජාත්‍යන්තර උණ සහ වේවැල් මධ්‍යස්ථානය (ICBR) වෙත නිල අධ්‍යයන චාරිකාවකට එක්වෙමින් මෙම එකඟතාවයට එළඹුණි.

ICBR හි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, දේශීය තත්ත්වයන්ට ගැලපෙන ප්‍රවේශයන් හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා දූත පිරිස උණ වගා ක්‍රම, නවීන සැකසුම් තාක්ෂණයන් සහ උණ බම්බුවලින් ලබාගත් කාර්මික නිෂ්පාදන පරාසයක් පරීක්ෂා කළහ.

ශ්‍රී ලංකාවේ මිනිසුන් සහ අලි ඇතුන් අතර ගැටුම අවම කළ හැකි ඵලදායී උණ බම්බු මත පදනම් වූ ජෛව වැටක් සඳහා වන යෝජනා ක්‍රියාත්මක කිරීමට නියෝජ්‍ය ඇමැතිවරයා චීන සහාය ඉල්ලා සිටි අතර, එම ඉල්ලීමට චීන නිලධාරීන් යහපත් ප්‍රතිචාර දක්වා ඇත. එම මුලපිරීමට සහාය වීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන සහාය, නවීන තාක්ෂණයන් සහ හොඳම භාවිතයන් ලබා දීමට ඔවුන් සූදානම් බව පෙන්නුම් කෙළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඓතිහාසික හා ආර්ථික සබඳතා දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, මෑත වසරවලදී දෙරට අතර සබඳතා අඛණ්ඩව ශක්තිමත් වී ඇති බව සඳහන් කළහ.

ජෛව වැට මුලපිරීම ද්විත්ව අරමුණක් සඳහා සේවය කිරීම සඳහා නිර්මාණය කැර ඇති බවත්, අලි මිනිස් ගැටුමට පාරිසරික වශයෙන් තිරසාර විසඳුමක් ලබා දෙන බවත්, උණ බම්බු ආශ්‍රිත නිෂ්පාදන සහ කර්මාන්ත හරහා දේශීය ප්‍රජාවන්ට ආර්ථික අවස්ථා නිර්මාණය කරන බවත් නිලධාරීහු පැවසූහ.

Follow by Email
LinkedIn
Share
WhatsApp