
වසර 15ක සේවා කාලය සහිත සුවිශේෂී පත්වීම් වගන්තිය අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි
2026 ජනාධිපති නීතිඥ පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි: අවසන් දිනය අගෝස්තු 31
ජනාධිපති නීතිඥවරුන් (President’s Counsel) පත්කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාවේ සේවා කාලය පිළිබඳ පැවති වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කැර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කැර ඇති බව වාර්තා වේ.
සංශෝධිත නීතිමය ප්‍රතිපාදන
නව ගැසට් නිවේදනයට අනුව, යම් නීතිඥවරයෙකු ජනාධිපති නීතිඥවරයකු ලෙස පත්කිරීමට නම් ඔහු හෝ ඇය අවම වශයෙන් වසර විස්සක (20) කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු ලෙස නීති වෘත්තියේ නිරත වී තිබීම අනිවාර්ය කැර ඇත.
මීට පෙර පැවති මාර්ගෝපදේශ මාලාව යටතේ ජනාධිපති නීතිඥ ධූරය සඳහා අවම වසර 20ක සේවා කාලයක් නියම කැර තිබුණද, සෙසු සියලුම සුදුසුකම් හා නිර්ණායක සපුරා ඇති අවස්ථාවලදී වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් ද සුවිශේෂී පදනමක් යටතේ ජනාධිපති නීතිඥ ධූරය සඳහා සලකා බැලීමට පැවති නීතිමය අවස්ථාව (Discretionary Provision) මෙම සංශෝධනය හරහා ඉවත් කැර තිබේ.
2026 වසරේ පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීම
මේ අතර, 2026 වසරට අදාළව ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම උදෙසා සුදුසුකම් ලත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන්ගෙන් අයදුම්පත් කැඳවීමේ නිල ගැසට් නිවේදනය ද නිකුත් කැර ඇත.
අදාළ සුදුසුකම් සපුරාලන නීතිඥවරුන්ට එළඹෙන අගෝස්තු මස 31 වැනි දිනට පෙර ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වැනඅ වගන්තියේ සඳහන් බලතල ප්‍රකාරව, නීති ක්ෂේත්රයේ සහ අධිකරණ පද්ධතියේ ඉහළම කුසලතා සහ වෘත්තීය මට්ටම ප්‍රදර්ශනය කළ නීතිඥවරුන් වෙත ජනාධිපති නීතිඥ පදවිය පිරිනමනු ලබයි. මීට පෙර අවස්ථාවලදී ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නීතිඥ සංගමය (BASL) සහ සාමාන්‍ය නීති ක්ෂේත්රය තුළ යම් යම් සංවාද පැවති අතර, මෙම නව නීතිමය සංශෝධන මඟින් පත්වීම් සඳහා වන ප්රමිතීන් සහ සේවා කාල සීමාවන් වඩාත් තදින් නියාමනය කිරීමට පියවර ගෙන තිබේ.
Source- The Leader
