
පාකිස්තානයේ කරච්චි නුවර රජයේ රෝහලක ඇතිවූ රෝග ව්‍යාප්තියක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 130 දෙනකුට HIV ආසාදනය වී ඇති බව අල් ජසීරා පුවත් සේවය උපුට දක්වමින් Cyber World Press වාර්තා කරයි.
එම ආසාදිතයන්ගෙන් බහුතරයක්ම කුඩා දරුවන් බවද වාර්තා වේ. කරච්චි නුවර සෞඛ්‍ය බලධාරීන් සඳහන් කැර ඇත්තේ පසුගිය සති කිහිපය ඇතුළත ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත්, සින්ද් ප්‍රාන්තයේ සේවක සමාජ ආරක්ෂණ ආයතනය මඟින් පාලනය වන කුල්සුම් බායි වලීකා රෝහල සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් දසදහසකට වැඩි පිරිසක් මේ වන විට පරීක්ෂාවට ලක් කැර ඇති බවත්ය. ඉන් 120 දෙනකුට වෛරසය ආසාදනය වී ඇතැයි ප්‍රාන්තයේ කම්කරු ඇමැති සයීඩ් ගානි ප්‍රකාශ කැර තිබේ. කරච්චි නගරයේ තවත් ජනාකීර්ණ පළාතක් වන ලන්දි ප්‍රදේශයේදී සේවක සමාජ ආරක්ෂණ ආයතනය සිදු කළ තවත් පරීක්ෂාවකදී HIV ආසාදිතයන් 10 දෙනකු හඳුනාගෙන ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කැර ඇති බව Cyber World Press සඳහාන් කරයි.
HIV වයිරසයේ ව්‍යාප්තියට හේතුව සොයා ගැනීමට මේ වන විට අභ්‍යන්තර පරික්ෂණ දෙකක් සින්ද් ප්‍රාන්ත රජය සිදු කැර ඇති අතර, එමඟින් ආසාදනය වැලැක්වීමේ නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම, ප්‍රමාණවත් ලෙස ආරක්ෂිත උපකරණ භාවිත නොකිරීම සහ එක් වරක් පමණක් භාවිත කළ යුතු සිරින්ජ යළි පරිහරණය කිරීම ඇතුළු බරපතළ අඩුපාඩු රැසක් අනාවරණය වී තිබේ.
සින්ද් ප්‍රාන්තයේ කාර්මික වෙළෙඳ ජනපදයේ පදිංචි දරුවන් අතර HIV ආසාදනයක් පැතිරී යන බව පළමුව නිරීක්ෂණය වී ඇත්තේ 2025 නොවැම්බරයේදී වන අතර, එහිදී සිදු කැර ඇති පළමු පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ කුල්සුම් බායි වලීකා රෝහලේ ළමා රෝග අංශයේ ප්‍රතිකාර ලැබූ දරුවන් 16 දෙනකුට HIV වයිරසය ආසාදනය වී ඇති බවයි.
