
ලෝක සිනමාව සහ රූපවාහිනි කර්මාන්තය පිළිබඳව කතා කිරීමේදී, චීනයේ සිනමා හා රූපවාහිනී කර්මාන්තයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. ඒ් මන්දයත්, චීනයේ නැඟෙනහිර ප්‍රදේශයේ ෂෙජියෑං (Zhejiang) පළාතේ ඩොංයැං (Dongyang) නගරයේ පිහිටි හෙන්ග්ඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස් (Hengdian World Studios) එම කර්මාන්තයට සුවිශේෂී ස්ථානයක් හිමි කැර දෙන බැවිනි.

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව පසුගිය දා මාධ්‍යවේදීන් වන අපට ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදන පසුබිම් අතරින් එකක් වන හෙන්ග්ඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස් සංකිර්ණය නැරඹීමට අවස්ථාව උදාවිය.විශේෂයෙන් චීනයේ ඓතිහාසික රාජධානි, පැරණි නගර, අධිරාජ්‍ය මාලිගා, වීදි, ගම්මාන සහ යුද පිටි සැබෑ පරිසරයකට සමාන අයුරින් මෙහි නිර්මාණය කැර ඇති අන්දම අප මවිතයට පත් කෙළේය. මෙම හෙන්ග්ඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස් , අද චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන දැවැන්ත පසුබිම් සංකීර්ණයක් බව මැනවින් පැහැදිලි වෙයි.විශේෂයෙන් මෙම හෙන්ග්ඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස් චිත්‍රපට රූගත කරන ස්ථානයක් පමණක් ම නොව , චීනයේ ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය සහ නවීන විනෝදාස්වාද කර්මාන්තය එකට හමුවන සුවිශේෂී සංස්කෘතික හා සංචාරක මධ්‍යස්ථානයක් ලෙස පෙන්වා දීම කාලෝචිතය.

ආරම්භය සහ සංවර්ධනය
හෙන්ග්ඩියන් චිත්රාගාර සංකීර්ණයේ සංවර්ධනය ආරම්භ වූයේ 1996 වසරේදී බව ඒ් පිළිබඳව කළ අධ්‍යයනයන්වලදී අවබෝධ විය . චීන ව්‍යාපාරික ෂූ වෙන්රොං (Xu Wenrong) ගේ මූලිකත්වයෙන් එය ගොඩනැඟීම ආරම්භ වු බව ද සඳහාන් වෙයි.
ඓතිහාසික චිත්‍රපටයක් සඳහා අවශ්‍ය පසුබිම් නිර්මාණය කිරීමේ අදහසින් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය පසුව විශාල සිනමා නිෂ්පාදන නගරයක් බවට පරිවර්තනය වීම මවිතයට පත් කරන සිද්ධියකි. කාලයත් සමඟ චීනයේ විවිධ රාජවංශ හා ඓතිහාසික යුග නිරූපණය කරන දැවැන්ත ගොඩනැඟිලි සහ පරිසර පද්ධති රැසක් මෙහි ඉදිකර තිබීම විශේෂත්වයකි.ඒ් අනුව බලන විට පෙනී යන්නේ හෙන්ග්ඩියන් ලොව ප්‍රමුඛතම චිත්‍රපට හා රූපවාහිනී රූගත කිරීමේ මධ්‍යස්ථාන අතරට අද එක්වී ඇති බවයි.

චින් අධිරාජ්‍ය මාලිගය (Qin Palace)
චීනයේ පළමු අධිරාජ්‍යයා වූ චින් ෂි හුවාංගේ (Qin Shi Huang) රාජධානිය සිහිගන්වන අයුරින් මෙම මාලිගා සංකීර්ණය නිර්මාණය කැර තිබීම විශේෂත්වයකි.දැවැන්ත දොරටු, උස් මාලිගා, රාජකීය ශාලා සහ විශාල මළුවලින් සමන්විත එය පුරාණ චීන අධිරාජ්‍යයේ බලය හා ගෘහ නිර්මාණ ශිල්පය සිනමාත්මකව මෙහි නිරූපණය කැර තිබේ.
මින් සහ චිං රාජවංශ මාලිගා (Ming and Qing Palatial Garden)

චීනයේ මින් සහ චිං රාජවංශ යුගවල රාජකීය ගෘහ නිර්මාණ ශිල්පය නිරූපණය කරන මෙම පසුබිම විශේෂ අවධානයක් දිනාගනී.බීජිංහි තහනම් නගරයේ (Forbidden City) ගෘහ නිර්මාණ ශෛලියට සමාන මාලිගා, උද්‍යාන, රාජකීය දොරටු සහ විශාල මළුවලින් එය සමන්විත වීම කැපී පෙනෙයි.
චීනයේ පැරණි නගර වීදි – ගුවැන්ෂෝ සහ හොංකොං වීදි
1996 වසරේදී මුලින්ම ඉදිකළ ගුවැන්ෂෝ වීදිය හෙන්ග්ඩියන්හි ආරම්භක සිනමා පසුබිම ලෙස සැලකේ.එය The Opium War චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා නිර්මාණය කෙරිණි. පසුව හොංකොං වීදි පසුබිමද එක්වීමෙන් පැරණි චීන නගර ජීවිතය සහ යටත්විජිත යුගයේ නාගරික පරිසරය නිරූපණය කරන ස්ථානයක් බවට පත් වී ඇත.

චීනයේ පැරණි නගර ජීවිතය – ක්වින්මින් ෂැංහේ ටු
මෙම පසුබිම චීනයේ සොං රාජවංශ යුගයේ නගර ජීවිතය නිරූපණය කරයි.පැරණි වෙළෙඳපොළ, ගංගා, ලී පාලම්, වෙළෙඳසල්, සාම්ප්‍රදායික නිවාස සහ ජනතාවගේ දෛනික ජීවිතය ප්‍රතිනිර්මාණය කැර තිබෙන අන්දම අප සෑම මාවිතයට පත් කෙළේය. අතීත චීන සමාජයේ වෙළෙඳාම, ප්‍රවාහනය, ගෘහ නිර්මාණ ශිල්පය සහ නාගරික සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් එමඟින් ලබාගත හැකි විය.
චිත්‍රපට කර්මාන්තයට හෙන්ග්ඩියන්හි ඇති වැදගත්කම

හෙන්ග්ඩියන් යනු පසුබිම් ගොඩනැඟිලි කිහිපයකින් සමන්විත සංචාරක ස්ථානයක් පමණක් ම නොවේ. එය චීනයේ සිනමා හා රූපවාහිනී නිෂ්පාදන කර්මාන්තයේ සම්පූර්ණ සේවා පද්ධතියක් සහිත මධ්‍යස්ථානයකි.මෙහි චිත්‍රපට රූගත කිරීම් සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආයුධ හා උපකරණ, වේදිකා සැකසීම, නළු නිළියන් සම්බන්ධීකරණය සහ පසු නිෂ්පාදන සේවා ඇතුළු පහසුකම් රැසක් පවතී.
ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ගේ රංගනය
හෙන්ග්ඩියන් සමූහයේ නිල තොරතුරුවලට අනුව, මෙහි චිත්‍රපට හා රූපවාහිනී රූගත කිරීමේ පසුබිම් 30කට වැඩි සංඛ්‍යාවක් සහ විවිධ ප්‍රමාණයේ චිත්රාගාර 100කට වැඩි සංඛ්‍යාවක් තිබේ. සෑම වසරකම නිෂ්පාදන කණ්ඩායම් සිය ගණනක් මෙහි පැමිණෙන බව මේ පිළිබඳව කළ අධ්‍යයනයන්වලදී පැහැදිලි විය .

හෙන්ග්ඩියන්හි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, චිත්‍රපට නිෂ්පාදනය සහ සංචාරක කර්මාන්තය එකට සම්බන්ධ කැර තිබීමයි.සංචාරකයන්ට මෙහි පැමිණ චීනයේ පැරණි රාජධානිවල පසුබිම් නැරඹීමට පමණක් නොව, ඓතිහාසික ඇඳුම් ඇඳගෙන ඡායාරූප ගැනීමට, රංගන අවස්ථා නැරඹීමට සහ විවිධ සංස්කෘතික ප්‍රසංගවලට සහභාගි වීමටද හැකියාව තිබේ.
ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්වන අපිද ඓතිහාසික ඇඳුම් ඇඳගනිමින් විනාඩි කීපයක සංස්කෘතික ප්‍රසංගයක් නිරූපනය කිරීමේ අවස්ථාව ලැබුණු අතර, එය අලුත් අත්දැකීමක් ද ගෙන දුන්නේය.
මෙම කර්මාන්තය හේතුවෙන් හෝටල්, ප්‍රවාහන, ආහාරපාන, වෙළෙඳාම, ඇඳුම් නිෂ්පාදනය සහ විනෝදාස්වාද සේවා වැනි ක්ෂේත්රවලටද ආර්ථික අවස්ථා උදා වී තිබේ. විශේෂයෙන් 2010 වසරේ දී හෙන්ග්ඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස් චීනයේ ඉහළම සංචාරක ආකර්ෂණ වර්ගීකරණයක් වන ජාතික AAAAA මට්ටමේ සංචාරක ස්ථානයක් ලෙස නම් කෙරුණ බව අපට මඟ කියා දුන් සහෝදරිය පැවසුවාය.
චීනයේ සංස්කෘතිය ලොවට ගෙන යන සිනමා නගරය
හෙන්ග්ඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස් චීනයේ ඉතිහාසය හා සංස්කෘතිය ලෝක ප්‍රේක්ෂකයන් වෙත ගෙන යෑමේ වැදගත් මාධ්‍යයක් බවට අද පත්ව තිබේ.විශේෂයෙන්ම චීනයේ පැරණි රාජවංශ, අධිරාජ්‍ය පාලනය, සටන් කලා, සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් සහ ජන ජීවිතය පදනම් කැරගත් ඓතිහාසික ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදනය සඳහා මෙය විශාල දායකත්වයක් සපයන බව පැහැදිලිය.එමෙන්ම නූතන තාක්ෂණය යොදාගනිමින් චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ හැකියාව ද මෙහි වර්ධනය වී තිබේ. එබැවින් හෙන්ග්ඩියන් චීනයේ සිනමා කර්මාන්තයේ පමණක් නොව සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයේද වැදගත් මධ්‍යස්ථානයක් බවට අද පත්ව තිබේ.

ඉතිහාසය සහ නූතන තාක්ෂණය එකට හමුවන ස්ථානයක්
හෙන්ග්ඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස්හි වැදගත්කම තේරුම් ගැනීමේදී එක් කරුණක් පැහැදිලි කැරගත යුතුය. මෙහි ඇති මාලිගා සහ පැරණි නගර බොහොමයක් සැබෑ පුරාවිද්‍යාත්මක ස්මාරක නොව චිත්‍රපට නිෂ්පාදනය සහ සංචාරක අත්දැකීම් සඳහා ඉදිකළ ප්රතිනිර්මාණ වේ.එහෙත් ඒවා චීනයේ ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පය, කලා සම්ප්රදාය සහ විවිධ රාජවංශවල ජීවන රටාව පිළිබඳ මහජන අවබෝධය වර්ධනය කිරීම අරමුණු කැරගෙන නිර්මානය කැර ඇත.

1996 වසරේදී චිත්‍රපටයක් සඳහා ඉදිකළ එක් වීදියකින් ආරම්භ වූ හෙන්ග්ඩියන් අද වන විට චිත්‍රපට, රූපවාහිනී, සංචාරක සහ විනෝදාස්වාද කර්මාන්ත එකට සම්බන්ධ වූ දැවැන්ත මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.
චීනයේ අතීත ශිෂ්ටාචාරය නූතන සිනමා තාක්ෂණය ඔස්සේ ලෝකයට ගෙන යන හෙන්ග්ඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස්, සංස්කෘතිය හා ආර්ථික සංවර්ධනය එකට ගමන් කළ හැකි ආකාරය පෙන්වන සුවිශේෂී නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිව තිබේ.
හත්වැනි කොටස

සටහන—
චන්දන විජේකෝන්
