Impartial news reporting for a stronger democratic society
කටුනායක සිට තුර්කි බලා ගිය ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටෙයි: පැය 3කට පසු සුරක්ෂිතව ගොඩබස්සයි

තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයට අයත් TK-731 දරන ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් සිය ගුවන් ගමන අත්හැර යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත සුරක්ෂිතව ගොඩබස්සවීමට ගුවන් නියමුවා  සමත් වී ඇත.
A330 Airbus වර්ගයේ මෙම යානයේ මගීන් 246 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කරමින් සිටි අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂවරයකු ද විශේෂ අමුත්තෙකු ලෙස එහි සිට ඇති බව වාර්තා වේ.
උදෑසන 7.07ට පිටත්ව ගිය යානයට කුරුල්ලෙකු ගැටීමෙන් පසු ගුවන් නියමුවා වහාම කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කැර ඇත.
යානය තුළ ඉන්ධන කිලෝග්‍රෑම් 80,000ක පමණ සංචිතයක් තිබූ බැවින්, ජාත්‍යන්තර ගුවන් ආරක්ෂක නීති අනුව එම ඉන්ධන ප්‍රමාණය අඩු කරන තෙක් යානය මීගමුව මුහුදු ප්‍රදේශයට ඉහළ අහසේ පැය 3යි විනාඩි 15ක් පියාසර කැර තිබේ.
මේ අතර හදිසි ගොඩබැස්සවීමක් සඳහා ගිනි නිවීමේ රථ, ගිලන් රථ, වෛද්‍ය කණ්ඩායම් සහ ගලවා ගැනීමේ භටයින් සමඟ කටුනායක ගුවන් තොටුපොළ සූදානම් කර තිබූ අතර, අවසානයේ උදෑසන 10.21ට යානය කිසිදු අනතුරකින් තොරව සුරක්ෂිතව ගොඩබස්සු බව කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් Cyber World Press වෙත  පැවසීය.

Follow by Email
LinkedIn
Share
WhatsApp