Impartial news reporting for a stronger democratic society
හිතුමනාපෙට ජනාධිපති සමාව දෙන සෙල්ලම ඉවරයි ! – විනිසුරු තුරෙයිරාජා කමිටු වාර්තාව එළියට

“ව්‍යවස්ථාවේ 34(1) වගන්තියට අලුත් නීති” – හිරගෙවල්වල අධික තදබදය නිමා කරන්න ජාත්‍යන්තර ප්‍රමිතියේ සැලැස්මක් සූදානම්!

ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන සහ සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ඇතුළු ඉහළම නිලධාරීන්ගේ එකඟතාවයෙන් අවසන් වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට බාර දෙයි!

මෙරට බන්ධනාගාර රැඳවියන් සඳහා විධායක ජනාධිපතිවරයා විසින් ලබාදෙන “ජනාධිපති පොදු සමාව” මින් ඉදිරියට කිසිදු පුද්ගලික හෝ දේශපාලන හිතවත්කම මත සිදු කළ නොහැකි වන පරිදි, ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයකින් යුත් නව ක්‍රමවේදයක් සකස් කිරීමේ විශේෂ නිර්දේශ සහිත අවසන් වාර්තාව ආණ්ඩුව වෙත බාර දී තිබේ.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුව විසින් සකස් කරන ලද මෙම වාර්තාව ඊයේ (10) අධිකරණ අමාත්‍යාංශයේදී එහි ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන වෙත නිල වශයෙන් බාරදෙන ලදී.
ව්‍යවස්ථාමය අඩුලුහුඬුකම් සහ කමිටුවේ ව්‍යූහය:

පසුගිය කාල වකවානුවලදී ආන්දෝලනාත්මක පුද්ගලයන් රැසකට ජනාධිපති සමාව හිමිවීම සමාජයේ දැඩි කතාබහට ලක් වූ අතර, ඊට තිත තැබීම සඳහා 2025 ජුනි 25 දින කැබිනට් මණ්ඩලය විසින් මෙම කමිටුව පත් කරන ලදී.
නීතිමය ප්‍රතිසංස්කරණ:
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියේ අතුරු විධානයන්, පවතින නීති රීති, පැරණි ආඥා පනත් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මඟින් මතුව ඇති අඩුලුහුඬුකම් සහ පරිපාලනමය ගැටලු සහමුලින්ම අධ්‍යයනය කර මෙම නව නිර්දේශ සකස් කර ඇත.
කමිටු සාමාජිකයෝ :
විනිසුරු තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුභසිංහ සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර ඇතුළු නීති, සෞඛ්‍ය සහ ආරක්ෂක ක්ෂේත්‍රවල ප්‍රධානීන් 10 දෙනෙකු ඇතුළත් වූහ.
තදබදය අවම කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් :
මෙම නව නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානතම අරමුණක් වන්නේ මෙරට බන්ධනාගාර පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට අනුගත කිරීමයි.
අධික රැඳවියන් සංඛ්‍යාව:
දැනට බන්ධනාගාර තුළ පවතින දරාගත නොහැකි අධික තදබදය අවම කිරීම සඳහා සාධාරණ ලෙස පොදු සමාව දීමේ ක්‍රමවේදයක් මින් ඉදිරියට ක්‍රියාත්මක වේ.
පුනරුත්ථාපන වැඩපිළිවෙළ:
සිරගත කර සිටින රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මඟහැරවා, සැබැවින්ම සමාජගත කළ හැකි පිරිස් පමණක් විනිවිදභාවයකින් යුතුව තෝරා ගැනීමට නව නීති මඟින් මඟ පෑදේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් මෙම වාර්තාවේ අන්තර්ගත නිර්දේශ ඉදිරි කාලය තුළදී නීතිමය වශයෙන් බලාත්මක කිරීමට පියවර ගනු ඇත.

(Source -The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp