Impartial news reporting for a stronger democratic society
 අභියාචනාධිකරණයේදී සලේගේ නීතිඥයාගෙන් රවිට සහ ශානිට බරපතල චෝදනා !

* “ISIS කතාව විජයදාස කිව්වා; සහරාන්ගේ රිපෝට් 97ක් එද්දී ශානි-රවි නිදාගෙන හිටියා!”

* ඉන්දීය බුද්ධි අංශ සහරාන්ගේ නම, ගම, ඉලක්ක එක්කම ඔත්තුව දීලත් CID ලොක්කෝ මඟහැරියා; කිසිම කොමිසමකින් සලේ වැරදිකරු කර නැහැ!

* මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ පිටුපස තිබූ ජාත්‍යන්තර ත්‍රස්ත නූල ඉන්ටර්පෝල් එකට නොකියා යටගැහුවා! – අල්විස් කමිටු වාර්තාව උසාවියට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ  විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග  කෙළේය.
මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ  ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත්  කෙළේය.

ශ්‍රී ලාංකිකයින් 39දෙනෙකු සිරියාවට ගොස් ISIS සංවිධානයට සම්බන්ධ වෙලා !

ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳව හිටපු අධිකරණ ඇමැතිවරයකු වන විජයදාස රාජපක්ෂ ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබෙන බව සිහිපත් කෙළේය.
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඒ පිටුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කල්ලියක දෘෂ්ටිවාදය පවතින බවට තොරතුරු හෙළිදරව්වී තිබියදීත් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කෙළේය.
අදාළ සිද්ධියට විදේශීය ත්‍රස්ත සංවිධානයක දෘෂ්ටිවාදී මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව්වී තිබියදීත් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට හැකියාවක් තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් නොසැලිකිළිමත්ව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කෙළේය.

සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97ක්

2016 වසරේ අප්‍රේල් මස 20 වනදා සිට 2019 වසරේ අප්‍රෙල් මස 30 වැනි දා දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97 ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක සඳහන්ව තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි අන්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන පුද්ගලයින් 129 දෙනෙකුගේ ලයිස්තුවක්ද ඉදිරිපත් කර තිබූ බවත් පැවසුවේය.
එහෙත් මෙවැනි අනතුරු ඇඟවීමේ වාර්තා සම්බන්ධයෙන් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ රවි සෙනෙවිරත්න යන අය විසින් නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර ඇත.
ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් හා ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, පිහි ප්‍රහාරයක්, ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබූ බවත් එම ප්‍රහාරයට සහභාගිවීමට නියමිත සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින්ගේ නම්ගම් පවා එම තොරතුරු තුළින් හෙළිදරව් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එහෙත් එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කොට විමර්ශන සිදු කිරීමට වග උත්තරකරුවන් කටයුතු  නොකළ බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රහාරවලට සුරේෂ් සලේ සම්බන්ධවී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කොමිසමකින් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණවී නොමැති බවත් පැවසුවේය.

විනිසුරු ජයකී ද අල්විස් ගේ කමිටුව

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් ගේ කමිටුව විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
ඉන් අනතුරුව පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ජුලි මස 10 වනදා දක්වා කල්තැබීමටද අභියාචනාධිකරණය තීන්දු කෙළේය.( Source- The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp