Impartial news reporting for a stronger democratic society
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සලේ අඛණ්ඩව රඳවා තබා ගැනීම අශෝභනයි – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 95 කට වැඩි කාලයක් රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අඛණ්ඩව රඳවා ගෙන  සිදු කරන අශෝභන, නීච ක්‍රියාවන්  පිළිබඳව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය (CPSL) ගැඹුරු කනස්සල්ල පළ කැර සිටි නිවේදනයක් නිකුත්කරමින් කියා සිටි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ  මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති  එම නිවේදනයේ තවදුරටත්  මෙසේද සඳහාන් වේ.

මේජර් ජෙනරාල් සලේගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පෙබරවාරි 25වැනි දින අත්අඩංගුවට ගෙන මේ දක්වා  රඳවා තබා ගැනීමත්, ඉන් පසුව කොළඹ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීම අප මවිතයට පත්ව සිටින්නෙමු. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු සියලු පීඩාකාරී ක්‍රියාවන් අහෝසි කිරීම සහ රටේ සෑම ප්‍රදේශයකම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීමට” පාලක ජාතික ජන බලවේගයේ  (NPP) 2024 ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් (“සමෘද්ධිමත් ජාතියක්, සුන්දර ජීවිතයක්”) පොරොන්දු වූ බව මේ රටේ ජනතාව  ඉතා හොඳින් දනී.

අයුතු ලෙස සැලකීම සහ ක්‍රියා පටිපාටිමය අක්‍රමිකතා පිළිබඳ චෝදනා

මේජර් ජෙනරාල් සලේ අත්අඩංගුවේ සිටියදී, ශාරීරික තුවාල සහ දැඩි මානසික පීඩාවන්ට ලක්ව ඇති බවට නීති උපදේශකයන් සහ වෛද්‍ය නිලධාරීන් ඉදිරිපත් කරන ලද වාර්තා පිළිබඳ ශ්‍රී කොමියුනිස්ට් පක්ෂය කනස්සල්ලට පත්ව සිටී. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවෙන් මේජර් ජෙනරාල් සලේට පශ්චාත් කම්පන ආතති ආබාධ, සාංකාව සහ මානසික අවපීඩනය ඇති බව හඳුනාගෙන ඇති බවත්, ඔහුගේ ශරීරයේ ස්ථාන පහක තුවාල හඳුනාගෙන ඇති බවත් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට දැනුම් දුන්නේය. නීතිඥවරයා පවසන පරිදි, වධහිංසා පැමිණවීමක් සිදුවී ඇති බවට, වාර්තාවෙන් චෝදනා එල්ල වේ.

ප්‍රමාණවත් ආහාර නොමැතිකම, මූලික සනීපාරක්ෂාව නොමැතිකම සහ වෙනත් අමානුෂික තත්ත්වයන් සම්බන්ධයෙන් මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයා වෙත විධිමත් පැමිණිල්ලක් ගොනු කැර ඇත. අධිකරණ ඉදිරියේ ප්‍රකාශ වූයේ, මේජර් ජෙනරාල් සලේට නිසි ආහාර ලබා නොදෙන බවත්, එක් රාත්‍රියක සිර මැදිරියේ තබා ඇති පත්තර පිටුවකට හොදි සමඟ බත් දී ඇති බවත්ය. මාධ්‍ය වාර්තාවලින් පෙනී යන්නේ තවත් සමහර රැඳවියන්ට ආහාර ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවට ප්‍රවේශ වීමට අවසර දී ඇති බවයි.

අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශනය කිරීමේදී සහ නඩු පැවරීමේදී නීත්‍යානුකූල ක්‍රියා පටිපාටියේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිළිගනී. ඒ සමඟම, මෙම සිද්ධියට අදාළව නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය කැර ඇත්තේද යන්න ගැන  සැකය මතුවෙමින් ඇත. මෙම අඩුපාඩු නිසා අත්අඩංගුවට ගැනීම සහ අඛණ්ඩව රඳවා තබා ගැනීම දේශපාලනික වශයෙන්  සිදු වූ  ක්‍රියාවක් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය  අවධාරණය කරයි.

මර්දනයේ මෙවලමක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

මානව හිමිකම් සංවිධාන දිගු කලක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, නඩු විභාගයකින් තොරව දිගුකාලීන අත්තනෝමතික රඳවා තබා ගැනීමට පහසුකම් සපයන සහ වධහිංසා පැමිණවීමට සහ බලහත්කාරයෙන් පාපොච්චාරණය කිරීමට අවස්ථා නිර්මාණය කරන කුරිරු ව්‍යවස්ථාවක් ලෙස විවේචනය කැර ඇත. ශ්‍රී කොමියුනිස්ට් පක්ෂය මෙම කනස්සල්ල නැවත අවධාරණය කරන අතර, පීඩාකාරී නීති අහෝසි කිරීමට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලබා දී ඇති පොරොන්දුව සහ  මෙම අවස්ථාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිතා කිරීම අතර ඇති පරස්පරතාව අවධාරනය කරයි.

එබැවින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ;

  • මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සම්පූර්ණ වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සහ තවදුරටත් අයුතු ලෙස සැලකීමෙන් ආරක්ෂාව ලැබෙන බව, වහාම සහතික කරන්න.
  • අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තාව ප්‍රසිද්ධ කැර සුදුසුකම් ලත් මධ්‍යස්ථ වෛද්‍ය මණ්ඩලයක් විසින් ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයකට අවසර දෙන්න.
  • මෙම කාරණය විමර්ශනය කිරීමේදී සහ නඩු පැවරීමේදී නීතිමය ක්‍රියා පටිපාටිය දැඩි ලෙස පිළිපදින ලෙස අප පක්ෂය බලකර සිටින අතර, උපදේශනයට ප්‍රවේශය, ප්‍රමාණවත් ආහාර, සනීපාරක්ෂාව සහ මානුෂීය රැඳවුම් කොන්දේසි සහතික කළ යුතුය.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තබා ගැනීම දීර්ඝ කිරීම සඳහා විනිවිද පෙනෙන සාධාරණ හේතු ලබා දීම සහ ව්‍යවස්ථාපිත ආරක්ෂණයන්ට අනුකූලව කාලෝචිත අධිකරණ සමාලෝචනයට ඉඩ දිය යුතුය.
  • “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු සියලු පීඩාකාරී ක්‍රියාවන් අහෝසි කිරීම සහ රටේ සෑම ප්‍රදේශයකම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීමට” ජාතික ජන බලවේගයේ (NPP) 2024 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනාව ක්‍රියාත්මක කරන්න.

ශ්‍රී කොමියුනිස්ට් පක්ෂය නීතියේ ආධිපත්‍යය, මානව ගරුත්වය සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී. සැබෑ ආරක්ෂක තර්ජන විමර්ශනය කිරීමට රාජ්‍යයේ වගකීම පිළිගන්නා අතරම, අපයෝජනය, ක්‍රියා පටිපාටිමය අක්‍රමිකතා සහ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සිදුවන එවැනි  ක්‍රියාවන් පිළිබඳ විශ්වාසදායක වාර්තා ඇති විට පක්ෂය නිහඬව නොසිටිනු ඇත. ශ්‍රී කොමියුනිස්ට් පක්ෂය මෙම පරීක්ෂණය සමීපව නිරීක්ෂණය කරන අතර, සිවිල් සමාජය සහ මානව හිමිකම් ආයතනවලින් ද එසේ කරන ලෙස ඉල්ලා සිටී.

 වෛද්‍ය ජී වීරසිංහ

ප්‍රධාන ලේකම්

2026.06.11

Follow by Email
LinkedIn
Share
WhatsApp