
බටහිර බුද්ධි අංශ මඟින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සංවේදී තොරතුරු සතු පුද්ගලයන් රැසකගේ ජංගම දුරකථන හැකර් ප්‍රහාරයකට ලක් කැර ඇති බව රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය හෙවත් FSB ආයතනය පවසයි.
මෘදුකාංග සංවර්ධකයන් පවා නොදන්නා ආරක්ෂක දුර්වලතාවක් භාවිත කරමින් මෙම දුරකථන දත්ත වෙත බාහිර පාර්ශ්වයන් ප්‍රවේශ වී ඇති බව ඔවුන් සඳහන් ඇතැයි RT වෙබ් අඩවිය වාර්තා කැර ඇත.
මෙමඟින් අදාළ පුද්ගලයන් අවට සිදුවන දෑ පටිගත කිරීමට සහ විශාල දත්ත ප්‍රමාණයක් රැස් කිරීමට විදේශීය ඔත්තුකරුවන්ට හැකියාව ලැබී තිබෙන බව සඳහන් කෙරේ.
බටහිර බුද්ධි අංශ මඟින් වර්තමානයේදී කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිත කරන බව රුසියානු ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
රුසියානු සයිබර් ආරක්ෂණ ආයතනයක් වන කැස්පර්ස්කි ලැබ් ආයතනයේ සේවකයන්ගේ ඇපල් දුරකථනවල සිදු වූ අසාමාන්‍ය ජාල ක්‍රියාකාරකම් පිළිබඳව 2023 වසරේදී සිදුකළ විමර්ශනවලින් පසුව මෙම තොරතුරු අනාවරණය වී තිබේ. අමෙරිකාව 2001 වසරේ දේශප්‍රේමී පනත හඳුන්වාදීමෙන් පසුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් තොරතුරු තාක්ෂණ සමාගම්වලින් දත්ත ලබාගැනීමට බුද්ධි අංශ වෙත පුළුල් බලතල පවරා ඇති අතර, එතැන් පටන් ඔවුන් මෙවැනි සයිබර් ඔත්තු බැලීමේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සිටින බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය වැඩිදුරටත් කියා සිටි.
( දිනමිණ ඇසුරෙන්)
