Impartial news reporting for a stronger democratic society
වෙසක් දන්සලේ 6ක් යට කළ රියැ­දුරුට මිනීමැරුම් චෝදනා ! – වාහනයට බලපත් නෑ – පැනගිය අයිතිකරුටත් නඩු – ගොඩගමදී වාහනය ඇල්ලුවේ පොලීසිය පස්සෙන් පන්නලා

    

මීගොඩ හයි­ලෙ­වල් මාර්ගයේ පැවැති වෙසක් දන්ස­ලක පෝලි­මක සිටි පිරි­සක් කැබ් රථ­ය­කින් යට­කර 06 දෙනෙක් මර­ණ­යට පත්කර 07 දෙනකු තුවාල සිදු­කළ බේබදු රියැ­දු­රුට එරෙ­හිව දණ්ඩ නීති සංග්‍ර­හයේ උප­රි­ම‍ ­චෝ­ද­නා­වක් වන මිනිස් ඝාතන චෝද­නාව ඇතුළු චෝදනා 10ක් ගොනු­කර හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඊයේ (01) ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 16දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ බව නියෝජ්‍ය පොලි­ස්පති පද්මිණි රණ­වක මහ­ත්මිය පැව­සු­වාය.

මෙසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත්තේ පිළි­ය­න්දල පදිංචි 42 හැවි­රිදි පත්ම­කු­මාර නමැති අයෙකි. ඔහු ගරා­ජ­යක් පව­ත්වා­ගෙන යන පුද්ග­ල­යෙක් බව පොලී­සිය පව­සයි.

රිය අන­තු­ර­කදී පුද්ග­ල­යෙක් මිය යෑමක් සම්බ­න්ධ­යෙන් රථ­වා­හන නීති­යට අනුව රියැ­දු­රෙ­කුට එරෙ­හිව චෝදනා ගොනු­ක­රනු ලබන්නේ නොසැ­ල­කි­ලි­මත්ව ධාව­නය කිරී­මෙන් මර­ණය සිදු­කි­රීම සම්බ­න්ධ­යෙන් බව රථ­වා­හන හා මාර්ග ආර­ක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනා­ධීර මහතා පැවැ­සීය.

එහෙත් මෙම අන­තුර එවැනි අන­තු­රක් නොව, මිනිස් ජීවිත රැක ගැනී­මට රියැ­දු­රුට කොතෙ­කුත් අව­ස්ථා­වක් තිබු­ණද දැන දැනම චේත­නා­න්වි­තව මරණ සිදු­කර ඇති බව විම­ර්ශ­න­යේදී පෙනී ගියේ යැයි නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා පැවැ­සීය. ඒ අනුව රියැ­දු­රාට එරෙ­හිව මිනී­මැ­රුම් චෝද­නාව ගොනු­ක­රන බවත් අප­රාධ නීතියේ උප­රිම චෝද­නාව ඒ අනුව ඔහුට ගොනු කිරී­මට පිය­වර ගන්නා බවත් නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

මිනී මැරුම යන චෝද­නා­වට අධි­ක­ර­ණ­යෙන් වර­ද­කරු උව­හොත් පරිම දඬු­වම මර­ණීය දණ්ඩ­න­යයි.

අන­තුර සිදු­වන අව­ස්ථා­වේදී රියැ­දු­රාට විධි­මත් රියැ­දුරු බල­ප­ත්‍ර­යක් තිබී නැති බවත් වාහ­නයේ බල­පත්‍ර පවා කල් ඉකුත් වී තිබී ඇති බවත් නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කීය.

අන­තුර සිදු­කර කැබ් රථය පලා­ගොස් ඇති බවත් කැබ් රථය නත­ර­කර රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගන්නේද අන­තුර වූ ස්ථානයේ සිට කිලෝ­මී­ටර් හත­ර­කට ආසන්න දුර­කින් බව මීගොඩ පොලී­සිය සඳ­හන් කරයි. කැබ් රථය නතර කර­ගෙන ඇත්තේද එම රථය පසු­පස පොලී­සිය හඹා­ගො­සිනි.

මෙම රථයේ හිමි­කරු සහ තවත් අයෙක් අන­තුර වූ අව­ස්ථා­වේදී එහි රැඳී සිට ඇති බවට තොර­තු­රුද පොලී­සි­යට ලැබී ඇත. ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගැනී­මට ද විම­ර්ශන පැවැ­ත්විණි. ඒ අයට ද එ‍‍රෙහිව නඩු පව­රණ බව නියෝජ්‍ය පොලි­ස්පති සේනා­ධීර මහතා පැවැ­සීය.

කැබ් රථය හයි­ලෙ­වල් මාර්ගය‍ේ අවි­ස්සා­වේල්ල දෙස සිට ධාව­නය වෙමින් තිබී ඇතැයි නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කීය. අන­තුර සිදුව ඇත්තේ කැබ් රථය ලොරි රථ­ය­කට ඉස්සර කිරී­මට යාමේදී බව විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී තිබේ. ලොරි­යට ඉස්සර කිරී­මට යාමේ දී ඉදි­රි­යෙන් පැමිණි වාහ­න­යක් නිසා එක­වර ඔහුට කැබ් රථය ඉස්සර කිරී­මට නොහැකි වී ඇති බවත් එහිදී ඔහු ලොරි රථ­යට වම්ප­සින් රථ­වා­හන නීති­යද උල්ලං­ඝ­නය කර­මින් ඉස්සර කිරී­මට යාමේදී මෙම අන­තුර සිදුව ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.

මුලින්ම කැබ් රථයේ ගැටී ඇත්තේ රොටි දන්සලේ පෝලිමේ සිටි 07 දෙනෙකි. ඔවුන්ගේ දෑත්වල කැබ් රථයේ බඳ වැදී ඇති බවත් ඒ මොහොතේ කැබ් රථය නත­ර­ක­රනු ලැබුවේ නම් මිනිස් ජීවිත හානි­යක් නොමැ­තිව තත්ත්වය පාල­න­ය­කර ගැනී­මට හැකි­යා­වක් තිබුණු බව ද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කියයි. බීම­තින් සිටි රියැ­දු­රාගේ නොහි­ක්මුණු කම නිසාම රථය නොන­වත්වා ධාව­න­ය­කර ඇති බවත් එවිට දන්සල් පෝලිමේ සිටි 06 දෙනකු යට­කර මරා දම­මින් රථය තව­දු­ර­ටත් ධාව­න­ය­කර ඇති බවත් නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා පැවැ­සීය.

මිය­ගොස් ඇත්තේ වයස අවු­රුදු 35ත් 38ත් අතර වය­ස්වල පසු­වන හංවැල්ල, පිළි­ය­න්දල සහ අවි­ස්සා­වේල්ලේ පදිං­චි­ක­රු­වන් පිරි­සකි. ඒ අතර අවු­රුදු 15ක දැරි­වි­යක් සහ 56 හැවි­රිදි කාන්තා­වක් වන බව ‍ පොලී­සිය සඳ­හන් කරයි.

මිනිස් ජීවිත සතේ­කට මායිම් නොකර මෙසේ දන්සලේ සිටි පිරි­සක් යට­කර නොන­වත්වා ධාව­නය කළ කැබ් රථය ගැන 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­යට අවට සිටි පිරිස් දැනුම් දී ඇත. රාත්‍රී 11.57ට පමණ සිදුවූ ඒ අන­තුර සම්බ­න්ධ­යෙන් විනාඩි 04ක් වැනි සුළු කාල­යක් තුළ 119 හදිසි ඇම­තුම් අංශ­යට තොර­තුරු ලබා දී තිබී ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි‍. මිරි­හානේ පිහිටි පොලිස් හදිසි ඇම­තුම් අංශය විසින් ද ක්ෂණි­ක­වම මීගොඩ පොලී­සිය දැනු­වත් කර තිබේ. ඒත් සම­ඟම මීගොඩ පොලී­සියේ දුර­ක­තන ක්‍රියා­කාරු ඒ බව පොලී­සියේ වට්ස්ඇප් සමූ­හ­ය­කට යොමු­කර ඇත. ඒම පණි­වු­ඩය ඒ වන විට ගොඩ­ගම නග­රයේ රථ­වා­හන රාජ­කා­රියේ සිටි නිල­ධා­රී­න්ටත් ජංගම පොලිස් රථයේ රැඳී සිටි නිල­ධා­රී­න්ටත් තත්පර කිහි­ප­යක් තුළ ලැබී තිබේ.

ගොඩ­ගම හන්දි‍ෙය් සිටි රථ­වා­හන අංශයේ නිල­ධා­රීන් ඒ මොහොතේ කැබ් රථය ගැන විම­සි­ලි­මත්ව සිට ඇතැයි නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කීය. මද වේලා­වක් ගත­වන විට වේග­යෙන් කැබ්ර­ථය ගොඩ­ගම හන්දිය පසු­කර ධාව­නය වී තිබේ. අන­තුර වූ ස්ථානයේ සිට ගොඩ­ගම හන්දි­යට දුර කිලෝ­මී­ටර් 3ක් පමණ වන බව සඳ­හන්ය.

රථ­වා­හන අංශ‍යේ නිල­ධා­රීන් කැබ් රථය පසු­පස මීටර් 700ක් පමණ දුර හඹා ගොස් රථය නත­ර­කර රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ වන විටත් එහි සිටි බව කියන රථයේ හිමි­කරු සහ අනෙත් පුද්ග­ලයා අත­ර­ම­ඟින් බැස පලා ගොස් ඇති බව පොලී­සිය කියයි. අන­තු­රක් කර පලා­යෑ­මට ආධාර අනු­බල දීම සම්බ­න්ධ­යෙන් ඔවුන්ට එරෙ­හිව පිය­වර ගන්නා බව පොලී­සිය සඳ­හන් කරයි.

දිට්වා සුළි කුණා­ටුව ඇතිවූ අව­ස්ථා­වේදී අව­දා­නම නොතකා මගී ජීවිත අන­තුරේ හෙළ­මින් ගංව­තුරේ බස් රථ­යක් ධාව­න­ය­කර මගීන් දෙදෙ­න­කුගේ ජීවිත අහි­මි­කළ අනු­රා­ධ­පුර කලා­ඔය අන­තු­රට සම්බන්ධ බස් රථ රියැ­දු­රු­ටද මිනිස් ඝාතන චෝද­නාව ගොනු­කර ඇත.

මෙරට ඉති­හා­සයේ දරු­ණු­තම අන­තු­රක් ලෙස සැල­කෙන පොල්ග­හ­වෙල යාල්ග­ල්මෝ­දර අන­තුරේ බස් රථ රියැ­දු­රුට එරෙ­හි­වද ගොනු­ක­රුනු ලැබුවේ මිනී­මැ­රුම් චෝද­නා­වයි.

2005 වසරේ අප්‍රේල් 27 වැනිදා ගේට්ටු වසා දමා තිබි­යදී දුම්රිය හරස් මාර්ග­යක් ඔස්සේ මගී බස් රථ­යක් අනා­ර­ක්ෂි­තව ධාව­නය කිරී­මට ගොස් දුම්රියේ බස් රථය ගැටී සිදුවූ එම අන­තු­රින් මගීන් 41 දෙනෙක් මිය­ගොස් තිබුණි. මෙහිදී රියැ­දු­රුට අම­ත­රව කොන්දො­ස්ත­ර­ව­ර­යා­ටද මිනී­මැ­රුම් චෝද­නාව එල්ලවූ අතර දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු කුරු­ණෑ­ගල මහා­ධි­ක­ර­ණය මඟින් ‌ඓතිහා­සික නඩු තීන්දු­වක් ප්‍රකා­ශ­යට පත්ක­රනු ලබන්නේ 2013 වස­රේ­දීය. ඒ රියැ­දුරු සහ කොන්දො­ස්ත­රට මර­ණීය දණ්ඩ­නය නියම කර­මිනි. මෙම අන­තු­රින් මගීන් 27 දෙනකු තුවාල ලැබීය. ඒ අයව ඝාත­නය කිරී­මට තැත් කළ බවට වූ චෝද­නා­වද රියැ­දුරු සහ කොන්දො­ස්ත­රට එල්ල­විය. ඒ සම්බ­න්ධ­යෙන්ද වසර 10ක බර­ප­තළ වැඩ ඇතිව සිර­ද­ඬු­වම්ද අධි­ක­ර­ණය විසින් නියම කරන ලදි.

මේ හැරු­ණු­කොට 2009 වසරේ මැයි 16 වැනිදා වැලි­කන්ද සෙව­ණ­පි­ටි‍යේදී ළදරු පාස­ලක දරු­වන් සහ දෙමා­පි­යන් පිරි­සක් රැගත් බස් රථ­යක් වසා තිබූ දුම්රිය ගේට්ටු අත­රින් රිංගා ධාව­න­ය­කර ඉන්ධන දුම්රි­යක ගැටී­මෙන් සිදුවූ අන­තු­ර­කින් මගීන් 15 දෙනෙක් මිය­ගොස් 40 දෙනෙක් තුවාල ලැබීය. එම අන­තු‍රින් රියැ­දු­රුට එරෙ­හි­වද මිනී­මැ­රුම් චෝදනා පොලී­සිය ගොනු කළේය. 2023 වසරේ සැප්තැ­ම්බර් 22 දා පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණය විසින් රියැ­දු­රුට එ‍රෙහිව මර­ණීය දණ්ඩ­නය නියම කරනු ලැබීය.

නුගේ­ගොඩ ගුවන් පාලම මතදී 2020 වස‍රේ ජූලි මාස­යේදී මගී බස් රථ දෙකක් තර­ග­යට ධාව­න­ය­කර ඉදි­රි­යෙන් පැමිණි හමුදා කැබ් රථ­යක ගැටී හමුදා සෙබ­ළෙක් මිය­යාම සම්බ­න්ධ‍ෙ­යන්ද බස් රථ රියැ­දු­රන්ට නඩු පව­රනු ලැබුවේ මිනී­මැ­රුම් චෝද­නාව යට­තේය. එකී නඩුවේ තීන්දුව නිකුත් වීමට නිය­මිත බව සඳ­හන්ය.

රිය අන­තුරු සම්බ­න්ධ­යෙන් රියැ­දු­රන්ට මිනිස් ඝාතන චෝදනා එල්ල කිරීම් සම්බ­න්ධ­යෙන් ‍‍ මෙවැනි උදා­හ­රණ රැසක් ඇති අතර මර­ණීය දණ්ඩ­නය නියම වූ රියැ­දු­රන්ද රැසක් සිටින බව පොලිස් තොර­තුරු සඳ­හන් කෙළේය.

( දිනමිණ ඇසුරෙන්)

ගයාන් කුමාර වීර­සිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

Follow by Email
LinkedIn
Share
WhatsApp