
උතුරු චීනයේ ෂැංසී ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 90 දෙනකු මියගිය බව එරට ෂිංහුවා පුවත් සේවය වාර්තා කෙළේය.
ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කැර ඇත්තේ තවත් පුද්ගලයන් 9 දෙනකු අතුරුදන් වී ඇති බවයි. නිලධාරින් සහ කාර්ය මණ්ඩලයේ 755 දෙනකු අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සඳහා යොදා ඇතැයි වාර්තා වේ. පිපිරීම සිදුවන අවස්ථාවේදී සේවකයන් 200කට වැඩි පිරිසක් පතල ඇතුළත සේවයේ නිරතව සිටි බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කැර තිබේ. පිපිරිමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 123 දෙනකු රෝහල් කැර ඇති අතර, ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව ෂිංහුවා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කෙළේය. අතුරුදන් වූවන් සෙවීම සහ තුවාල ලැබූ සේවකයන්ට නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙස චීන ජනාධීපති ෂී ජින්පින් බලධාරින්ට උපදෙස් දී ඇති අතර, පිපිරිම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කැර ඇතැයි වාර්තා වේ.
ගල්අඟුරු පතලේ පිපිරීම සම්බන්ධ මූලික පරීක්ෂණ කටයුතු ඊයේ(24) වන විට ආරම්භ කැර ඇති අතර, වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදෙන බව චීන රජය නිවේදනය කර තිබේ. බොහෝ සේවකයන් රෝගී තත්ත්වයට පත්වී ඇත්තේ විෂ වායු ආඝ්රණය කිරිම හේතුවෙන් බවට අනාවරණය වුවද, එම වායුව කවරේ දැයි මෙතෙක් සොයාගෙන නැති බව වාර්තා වේ.
ගල්අඟුරු පතලේ කාබන් මොනොක්සයිඩ් වායුව නියමිත සීමාව ඉක්මවා තිබූ බව හෙළිවී ඇති අතර, චීන රජයේ මාධ්‍ය සඳහන් කැර ඇත්තේ, පිපිරිම සම්බන්ධව ප්‍රශ්න කිරිමට ගල් අඟුරු පතලේ නිලධාරීන් පිරිසක් රඳවා තබාගෙන සිටින බවය.

