
දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනය නවතා දමන තුරු ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ලිපියක් මාර්ගයෙන් තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කැර තිබේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනප්‍රිය නළු චන්ද්‍රශේකර් ජෝෂප් විජේ වෙත ලිපියක් යොමු කරමින් ඔහුගේ ජයග්‍රහනයට සුබ පැතුම් එක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මෙම ඉල්ලීම කැර තිබේ.
එම ලිපිය මඟින් ඔහු තවදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජිවත් වන දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදු වූ බව පිළිගනිමින් ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් ඉල්ලා මෙයට දහතුන් වසරකට ඉහතදී තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව සම්මත කැරගත් යෝජනාව නැවත වරක් තහවුරු කරන ලෙසයි. එසේම දෙමළ ජාතික කවුන්සිලයට ද නායකත්වය දෙන මෙන් තමිල්නාඩු නව මහ ඇමැතිවරයාට ආරාධනා කැර තිබේ.
ශ්‍රී ලංකා රජය ඊළාම් දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ යුධමය ක්‍රියාමාර්ග මෙම ලිපිය මඟින් සිහිපත් කැර ඇති අතර, 2009 වසරෙන් පසුව සෑම වසරකම මැයි 18 වැනි දින ‘මුල්ලිවයික්කාල් වර්ග සංහාරක අනුස්මරණ දිනය‘ ලෙස නම් කරන ලෙස ද ඉල්ලා තිබේ.
ඊළාම් දෙමළ ජනතාවගේ යුක්තිය උදෙසා වන ඉහත කී අරගලයට ශක්තියක් එක් කරමින්, 2013 වසරේදී තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනයක් තිබූ සියලුම පක්ෂවල සහයෝගය ඇතිව, ඊළාම් දෙමළ ජනතාව මත සිදු වූයේ වර්ග සංහාරයක් බවත්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් අවශ්‍ය බවත් ව්‍යවස්ථාදායක සභාවේදී යෝජනාවක් සම්මත කැර තිබු බව දේශපාලනයට නවකයකු වන තමිල්නාඩු නව මහ ඇමැතිවරයාට ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා රාජ්‍යය “ මිත්‍ර රාජ්‍යයක් ” ලෙස හැඳින්වීම ඉන්දීය රජය විසින් අත්හිටවිය යුතු බවටත්, ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදු කරන ලද වර්ග සංහාරය සහ යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන, සාධාරණ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත්, එම ජාත්‍යන්තර විමර්ශනය පදනම් කැර ගනිමින්, යුද අපරාධ සිදු කළ පුද්ගලයන් ජාත්‍යන්තර අධිකරණය හමුවට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමටත්, දෙමළ ජනතාව මත සිදු කරන මර්දනය ශ්‍රී ලංකා රජය නතර කරන තෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමටත්, ඊළාම් දෙමළ ජනතාවගේ අනාගත සුබසිද්ධිය සැලකිල්ලට ගෙන “තනි ඊළාම්” රාජ්‍යයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව සහ ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙනත් රටවල වෙසෙන දෙමළ ජනතාව අතර පොදු ජනමත විචාරණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ගෙන ඒමට පියවර ගත යුතු බවට 2013 වසරේදී ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහ ඇමැතිනියගේ නායකත්වයෙන් යුත් තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව යෝජනා සම්මත කැර ගනිමින් ඉන්දීය මධ්‍යම රජයට දැඩි බලපෑමක් එල්ල කර තිබුණි.
ඒ අනුව ඊළාම් දෙමළ ජනතාව මත සිදු වූයේ වර්ග සංහාරයක් බවත්, ඒ සඳහා ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් අවශ්‍යය යන එම ස්ථාවරයේම චන්ද්‍රශේකර් ජෝෂප් විජේගේ නායකත්වයෙන් යුත් නව තමිල්නාඩු රජයත් ඉතා තදින් හා ස්ථිරව ගමන් කරන බවට වන පණිවිඩය සියලු පාර්ශ්ව වෙත ලබා දෙන පරිදි, ඉහත කී 2013 වසරේ ව්‍යවස්ථාදායක සභා යෝජනාවට අනුකූල යෝජනාවක්, මෙම මැයි මාසයේ රැස්වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ සමාරම්භක සැසියේදීම ඔහුගේ නායකත්වයෙන් සම්මත කිරීම, ඊළාම් දෙමළ ප්‍රශ්නය පිළිබඳව තමිල්නාඩුව තුළ අඛණ්ඩ හා ස්ථිරසාර ස්ථාවරයක් පවතින බව විදහා දැක්වීමක් වනු ඇති ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා නව මහ ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
“ඒ හරහා, ඊළාම් දෙමළ ජාතිය කෙරෙහි ඔබ දක්වන සැලකිල්ල, දරුණු වර්ග සංහාරය වෙනුවෙන් ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් ඉල්ලා සිටින ඊළාම් දෙමළ ජනයාට ශක්තියක් වන අතරම, ලොව පුරා වෙසෙන ඊළාම් දෙමළ ජනතාවගේ හදවත් තුළ ඔබතුමාට නොමැකෙන ස්ථානයක් හිමිවන බව ද ප්‍රකාශ කරමින්, නැවතත් අපගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමන්නෙමු,” යි දෙමළ ජාතික කවුන්සිලයේ නායකයා තමිල්නාඩු මහ ඇමැතිවරයාට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සඳහන්ව තිබේ.
