Impartial news reporting for a stronger democratic society
මහනුවරම ගද ගහයි : හැම විදියකම මහා කුණු ගොඩවල් – ජනතාවගෙන් මැසිවිලි !

 මහනුවර නගර සීමාවේ එකතුවන කසළ  සතියකට ආසන්න කාලයක සිට  ඉවත් නොකිරීම හේතුවෙන්  මුළු නගරය පුරාම මේ වන විට දැඩි දුර්ගන්ධයක්  පැතිර යමින් පවති.

මතුව ඇති  මේ තත්ත්වය පිළිබඳව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ගෙන් විමසු විට ඇය පවසා  සිටියේ,  මහනුවර නගරයේ  කසළ බැහැර කරන ගොහාගොඩ තේක්කවත්ත කසළ අංගනයේ කසළ විවිධාංගිකරණය සඳහා භාවිත කරන එස්කැවේටර් යන්ත්‍රය සතියකට වැඩි කාලයක සිට ආපදාවට ලක්වීම නිසා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් පැන නැගී  ඇති බවත්, ඉතා කඩිනමින් අද  හෙට මේ සම්බන්ධයෙන්  විසඳුමක් ලබා දෙන බවයි.

අධික වර්ෂාවත් සමඟ  පැතිර යන දැඩි දුර්ගන්ධය මේ වන විට  නගරය පුරා පැතිරීම හේතුවෙන් නගරයට පැමිණෙන පාසල් ළමුන්  සහ  සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව  සිටිති.

දෛනිකව නගර සීමාව තුළ කසළ ටොන් 50- 60 අතර ප්‍රමානයක්  එකතු වන අතර වැසි ජලයත් සමඟ කසළ වීදි පුරා ගලායන බව  මහනුවර ව්‍යාපාරිකයෝ පවසති.

දුර්ගන්ධයට අමතරව මැස්සන් සහ ඩෙංගු මදුරුවන්  ව්‍යාප්ත වීමද වැඩිවී  ඇති බව අනාවරණය වෙයි. හෝටල්වල ආහාර අළෙවි කිරීමේ කටයුතුවලට ද මේ තත්ත්වය නිසා බාධා එල්ල වී තිබෙන බව හෝටල් හිමියෝ ප්‍රකාශ කරන අතර, ඔවුන් තවදුරටත් කියා සිටින්නේ, නගරයක් නිසි ලෙස පාලනය කරන්න බැරි ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ කොහොමද යන්නයි.

කෙසේ  නමුත්,මහනුවර නගරය පුරා මතුව ඇති මේ තත්ත්වය පිළිබඳ නගරාධිපතිවරයාගෙන් විමසු විට ඔහුගෙන් නිසි පිළිතුරක් නොලබුණ අතර,ගැටලුව නිරාකරණය කිරීමට  අපේක්ෂා කරන බව පමණක්  පැවසීය.

  • ප්‍රසංගි පතිරණ

(මධ්‍යම පළාත් විශේෂ)

Follow by Email
LinkedIn
Share
WhatsApp