
බ්‍රිතාන්‍යයේ සාම්ප්‍රදායික ද්වි-පක්ෂ දේශපාලන ක්‍රමය දැවැන්ත වෙනසකට ලක් කරමින් එරට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මේවන විට නිකුත් වී තිබේ.
මෙවර මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකවන කම්කරු පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, නයිජල් ෆැරාජ්ගේ රිෆෝම් යූකේ (Reform UK) පක්ෂය පෙරළිකාර ජයග්‍රහණයක් අත්කර ගෙන ඇතැයි රොයිටර් ප්‍රවෘත්ති සේවය උපුට දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
වසර දෙකකට පෙර පැවැති මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අගමැති කීර් ස්ටාර්මර්ගේ කම්කරු පක්ෂය, එංගලන්තයේ කාර්මික කලාපවල පිහිටි සිය බලකොටු රැසක් මෙවර අහිමි කැර ගෙන ඇතැයි සඳහන් වේ.
මෙම මැතිවරණයේදී රිෆෝම් යූකේ පක්ෂය එංගලන්තයේ කවුන්සිල ආසන 350කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කැර ඇති අතර ,ස්කොට්ලන්තය සහ වේල්සය තුළද ප්‍රබල විරුද්ධ පක්ෂයක් ලෙස නැඟි එමින් පවති.
පවතින දේශපාලන වාතාවරණය හමුවේ බ්‍රිතාන්‍යයේ දේශපාලන බලය ප්‍රධාන පක්ෂවලින් ගිලිහී හරිත පක්ෂය සහ ජාතිකවාදී පක්ෂ වෙත විමධ්‍යගත වන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
මේ අතර සිය පක්ෂය ලැබූ දැඩි පරාජය හමුවේ වුවද, බ්‍රිතාන්‍යයට පොරොන්දු වූ වෙනස උදාකර දීම සඳහා තවදුරටත් කැපවන බව අගමැති කීර් ස්ටාර්මර් අවධාරණය කැර සිටි.
මෙම ප්‍රතිඵලය සියවසකට පසු බ්‍රිතාන්‍ය දේශපාලනයේ සිදු වූ විශාලතම හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකේ.( දිනමිණ ඇසුරෙන්)

