

ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි
——————————————–
ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධය අවසන් කිරීමටත් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරිමටත් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනා මේ වන සලකා බලමින් සිටින බව ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කැර ඇති බව ටෙහේරානයේ සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.
වඩාත් පුළුල්ව සහ විනිවිදභාවයකින් යුතුව ඉරානය සමඟ කරුණු 14කින් යුතු අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සඳහා කාලය උදා වී ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කැර ඇති බව අනාවරණය වෙයි.
ඉරාන නියෝජිතයන් සමඟ සාර්ථකව සාකච්ඡා පැවැත්වෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා නිකුත් කළ ප්‍රකාශය ඉරානය ද තහවුරු කැර ඇති බව සඳහාන්ය. ඉරාන විදේශ ඇමැතිවරයා සඳහන් කැර ඇත්තේ සිය අදහස් සහ යෝජනා පකිස්තාන මැදිහත්කරුවන් වෙත කඩිනමින් දැනුම් දීමට අදහස් කරන බවයි. කෙසේ වෙතත් න්‍යෂ්ටික වැඩසටහන අත්හැරිම හෝ අත්හිටුවීම සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කැර ඇති යෝජනාවට ඉරානයේ එකඟතාව පළ නොවනු ඇති බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය වෙළෙඳ නෞකාවලට නැවත විවෘත කිරිමට පෙර ඉරාන වරායන් ඉලක්ක කරගත් අමෙරිකානු නාවික හමුදාවේ අවහිරතා ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කැර ඇති බව අනාවරණය වෙයි.
ඉරාන රජය සමඟ ගිවිසුම්ගත වීම සඳහා යළි සාකච්ඡා පැවැත්වීමේ ඉඩකඩ මතුවී ඇති බැවින්, හෝමූස් සමුද්‍ර සන්ධිය අවට සිරවූ වෙළෙඳ නෞකා නිදහස් කිරිමට සහාය ලබා දීමට ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්‘ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවූ බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙරේදා (07) ප්‍රකාශ කළ අතර, ඉරාන වරායන් අවහිර කිරීම අඛණ්ඩව සිදු කරන බව ද සඳහන් කැර තිබේ.
ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ කිරීමෙන් පැය 50කට පසුව අත්හිටුවීමට තීරණය කැර ඇත්තේ පකිස්තාන රජයේ ඉල්ලීම මත බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කැර ඇත. ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරාන ආරක්ෂක හමුදාවෙන් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කැර තිබූ අතර, වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීමට හෝමූස් මුහුදු තීරයට ඇතුළු වන ඕනෑම අමෙරිකානු නෞකාවකට පහර දෙන බව නිවේදනය කැර තිබිණි.
මෙහෙයුම අතරතුරදී ඉරාන ආරක්ෂක හමුදාවේ අණ නොතකා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කළ නෞකා දෙකකට සහ අමෙරිකානු යාත්‍රාවකට පහර දුන් බව ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කළ අතර, සිය යාත්‍රාවකට පහර දුන් බවට නිකුත් කළ නිවේදනය අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය පසුව ප්‍රතික්ෂේප කැර තිබිණි. එහෙත් විදේශ මාධ්‍ය සඳහාන් කෙළේ ඉරානයේ මිසයිල අමෙරිකානු නෞකා මතට පතිතවන බව දුටු බවයි.
