
ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 12 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කැර ඇත.
පල්ලේගම හේමරතන හිමියන් පෙරේදා (08) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම රෝහල් පරිශ්‍රයේදීම මහේස්ත්‍රාත්වරයා සැකකරු පරීක්ෂාවට ලක් කරනු ලැබිය.
උන්වහන්සේ ලබන 12 වැනි දා අනුරාධපුර බන්ධනාගාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු පල්ලේගම හේමරතන හිමියන්ව තවදුරටත් අදාළ පෞද්ගලික රෝහලේ රඳවා තැබිය නොහැකි බැවින්, වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහල වෙත හෝ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කැර ප්‍රතිකාර ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කැර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 04 වැනි දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය විය.
පසුගිය අප්‍රේල් 27 වැනි දා නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් මෙම දැරිය, ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය අවස්ථා ගණනාවකදී දූෂණයට ලක්ව ඇති බව තහවුරු විය.
එහිදී දැරිය හෙළි කැර ඇත්තේ, තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවත්, අනතුරුව සිය පෙම්වතා සහ ඥාති මස්සිනා අතින් අපයෝජනයට ලක්වූ බව පවසා ඇත..
විමර්ශනවලදී අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වන්නේ, විහාරාධිපති හිමියන් තමන්ව මුලින්ම දූෂණය කළ අවස්ථාවේ රුධිරය තැවරුණු ඇඳුම් දැරියගේ නිවෙස ආසන්නයේ වළ දමා තිබියදී පොලිසිය සොයා ගැනීමයි.
එම ඇඳුම් සහ අනෙකුත් නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය මීට පෙර නියෝග කැර තිබිණ.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති වඩාත් කනගාටුදායක කරුණ වන්නේ, දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි දියණිය එම හිමියන් වෙත ලබා දී ඇති බවයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නියෝග මත, සිද්ධියේ පළමු අපරාධය අනුරාධපුරයේදී සිදුවීම හේතුවෙන් විමර්ශන කටයුතු ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය වෙත පවරා තිබිණ.
සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මීට පෙර අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති හිමියන්ගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර, දැරිය ද එම විහාරස්ථානය වෙත රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණ පවත්වා තිබිණ.
(Source-The Leader)
සබැඳි පුවත් :
ලිංගික අපයෝජනා චෝදනාවට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට
