
දූෂණ චෝදනා එල්ල වීමෙන් තනතුරු චීනයේ හිටපු ආරක්ෂක ඇමැතිවරු දෙදෙනකුට අත්හිට වූ මරණ දඬුවම් නියම කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන රජයේ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කැර ඇත්තේ එරට හමුදා අධිකරණයෙන් මේ නියෝගය නිකුත් කළ බවයි.
වසර දෙකකට අත්හිටු වූ මරණ දඬුවම නියම කැර ඇත්තේ එරට හිටපු ආරක්ෂක ඇමැතිවරුන් වන වෙයි ෆෙන්ග්ගිට සහ ලි ෂැංග්ෆුට බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කෙළේය.
සිය නඩු තීන්දුවට එරෙහිව සමාවක් ලබා ගැනීමේ හෝ දඬුවම අවම කැර ගැනීමේ හෝ හැකියාවක් ඔවුන්ට නොමැති බවත්, වසර දෙකක කාලසීමාවෙන් පසු හිටපු ආරක්ෂක ඇමැතිවරුන්ගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස පරිවර්තනය වනු ඇති බවත් බීබීසී පුවත් සේවය සඳහන් කෙළේය.
වෙයි ෆෙන්ග්ගි වසර 2018 සිට 2023 දක්වා චීනයේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කැර ඇති අතර, ඔහු වෙනුවට පත් වූ ලී ෂැංග්ෆු වසර 2023 මාර්තු මාසයේදී එම ධුරයේ කටයුතු කැර ඇතැයි වාර්තා වේ. ඇමැතිවරු දෙදෙනාම අල්ලස් දූෂණ චෝදනාවලට වරදකරුවන් බවට තහවුරු වි ඇති බවත්, ඔවුන්ගේ සියලු පෞද්ගලික වත්කම් රාජසන්තක කැර ඇති බවත් අනාවරණය වෙයි.
