
බාලවයස්කාර 15 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න නියෝග කැර තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අද (මැයි 8) සිදු කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්රාත්වරයා නිට්ටඹුව පොලිසියට මෙම නියෝගය නිකුත් කැර තිබේ.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කැර ඇත.
ප්රධාන මහේස්ත්රාත්වරයා මෙසේ නියෝග කෙළේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසුව ය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න පැවසුවේ, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බව යි.(Source -The Leader)
