
පාකිස්තාන රජය හරහා ඉරානය අමෙරිකාව වෙත ඉදිරිපත් කරනු ලැබූ නවතම යෝජනාවලිය සම්බන්ධව සමාලෝචනය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක කමිටුව රැස් කළ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ධවල මන්දිරයේ ප්‍රකාශිකා කැරොලින් ලෙවිඩ් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කැර ඇත්තේ ඉරානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලිවම සඳහන් කැර ඇති බවය. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරිමට පෙර අමෙරිකානු නාවික හමුදාව සිය වරායන් අවහිර කිරිම අත්හිටුවිය යුතු බවට ඉරානය යෝජනා කැර ඇති අතර, එම යෝජනාවලියට න්‍යෂ්ටික වැඩසටහන ඇතුළත් නොවීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් සෑහීමකට පත් නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉරානය සහ අමෙරිකාව අතර එකඟතාවට පැමිණීම ඉතා දුෂ්කර බව පසුගියදා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කැර තිබූ අතර, දෙපාර්ශ්වය අතර ඕනෑම ගිවිසුමක් න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ අරමුණින් සිදුවිය යුත බවද ඔහු සඳහන් කැර තිබේ.
පසුගිය 8 වැනිදා පාකිස්තානයේ මැදිහත්වීමෙන් දෙරට අතර ඇතිකරගත් සති දෙකක සටන් විරාමය අතරතුර දෙරටේ නියෝජිතයන් ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ අතර, නැවත සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් සටන් විරාමය දින නියමයකින් තොරව දීර්ඝ කිරිමට ට්‍රම්ප් පියවර ගෙන තිබිණි. එහෙත් දෙවැනි වරටත් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවසන් මොහොතේ අවලංගු වූයේ අමෙරිකාව කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව කියමින් අමෙරිකානු නියෝජිතයන් සමඟ මුහුණට මුහුණ හමුවීම ඉරාන පාර්ශ්වය දැඩි සේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.( දිනමිණ ඇසුරෙන්)
