
හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ යාත්‍රා සඳහා නැවත වසා දමන බවත්,අමෙරිකාවේ බලපෑම මත හෝමූස් වෙත ළඟා වන ඕනෑම නෞකාවක් තම ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ ඉලක්කයන් වන බව ඉරානය පවසයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ යාත්‍රා සඳහා තාවකාලිකව නැවත විවෘත කැර ඇති බව ඉරානය නිවේදනය කිරීමෙන් දිනකට පසුව , අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව කළ අවහිර කිරීම්වලට දොස් පවරන බවත්, ඊට ප්‍රතිචාරයක් වශයෙන් ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) මෙම තීරණය ගත් බව නිවේදනය කෙළේය.
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ටෙහෙරානය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම නිසා ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යෑමට හේතු වු බවත්, ඔවුන්ට අමෙරිකා එක්සත් ජනපදයට තර්ජන කිරීමට හෝ “බ්ලැක්මේල්” කිරීමට හෝ නොහැකි බවයි.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අයත් නාවික හමුදාව සෙනසුරාදා(18) නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූයේ ,”පර්සියානු ගල්ෆ් හෝ ඕමාන් මුහුදේ නැංගුරම්ලා ඇති නාවික යාත්‍රා විනාශ කරන බවයි.
අමෙරිකා එක්සත් ජනපදය ඉරාන වරායන් අවහිර කිරීම් නතර කරන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දමන බවත්, හෝමූස් සමුද්‍ර සන්ධියට ළඟා වන සතුරු නෞකා තම හමුදාවේ ඉලක්ක වන බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ( IRGC) තවදුරටත් පවසා ඇත.
අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සිකුරාදා පැවසුවේ, දෙරට අතර සාම ගිවිසුමක් ඇති වන තෙක් ඉරාන වරායන් හා නාවික අවහිර කිරීම් දිගටම සිදු කරන බවයි. දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය අප්‍රේල් 22 වැනි දින අවසන් වීමට නියමිතය.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) පැවසුවේ, අමෙරිකාව සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන බවත්, එම නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම නවත්වන බවත්ය.
යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා සම්බන්ධයෙන්, SNSC පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදය විසින් නව යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එය ටෙහෙරානය “දැනට සමාලෝචනය කරමින් සිටින අතර, තවමත් ප්‍රතිචාර දක්වා නොමැති” බවත්ය. මෙම මස මුලදී පැවති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය.
“අපට ඉතා හොඳ සංවාද සිදුවෙමින් පවතී. එය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතී,” ට්‍රම්ප් සෙනසුරාදා ටෙහෙරානය සමඟ පවතින සාකච්ඡා තත්ත්වය පිළිබඳව පැවසීය.
සෙනසුරාදා ඉරානය විසින් නෞකාවලට පහර දුන් බවට වාර්තා කිහිපයක් එල්ල වී තිබේ.
ඉරානයට අයත් නාවික ප්‍රහාර බෝට්ටු දෙකක් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් නෞකා ටැංකියකට වෙඩි තැබූ බව අමෙරිකා එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් (UKMTO) අංශය පවසා තිබේ.
ඕමානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ බහාලුම් නෞකාවකට “නාඳුනන ප්රක්ෂේපණයක්” ද පහර දී ඇති අතර එමඟින් සමහර බහාලුම්වලට හානි සිදුවී ඇති බව UKMTO පවසයි.
වෙළෙඳ යාත්‍රා දෙකක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කරන විට වෙඩි තැබීම්වලට ලක් වූ බව රොයිටර් පුවත් සේවයට පැවසීය.
“හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඉන්දියානු ධජය සහිතව ගමන් ගත් නැව් දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව” තම ගැඹුරු කනස්සල්ල පළ කිරීම සඳහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවු බව ඉන්දියාව ඊයේ ( 19) පැවසීය.
ලෝකයේ තෙල් හා ද්‍රව ස්වාභාවික වායු (LNG) වලින් 20% ක් පමණ සාමාන්‍යයෙන් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා වන නමුත්, පෙබරවාරි 28 වැනි දින අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීමත් සමඟ ආරම්භ වූ මෑත කාලීන ගැටුමේදී මෙම ගමනේ යෙදෙන නැව් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
(බීබීසී ඇසුරෙන්)
