
- ඉන්දුස් ජල ගිවිසුමට සම්බන්ධ ඉන්දු ගංගා ද්‍රෝණියේ ජල විදුලි ව්‍යාපෘති දෙකක්
- ජම්මු කාශ්මීරයේ පැහැල්ගාම් සංචාරක පුරයේදී පුද්ගලයන් 26 ට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාරය
- හේග් නුවර බේරුම්කාර අධිකරණය ලබා දුන් තීන්දුව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
ලෝක බැංකුවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය 1960 දී ඇති කැරගත් ඉන්දුස් ජල ගිවිසුමට සම්බන්ධ ඉන්දු ගංගා ද්‍රෝණියේ ජල විදුලි ව්‍යාපෘති දෙකක් ඉදි කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ජම්මු කාශ්මීරයේ පැහැල්ගාම් සංචාරක පුරයේදී පුද්ගලයන් 26 දෙනකුට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය රජය එම ජල ගිවිසුම අත්හිටවූ ඇත.
මෙම ජලවිදුලි ව්‍යාපෘති දෙසැම්බර් මස අග වන විට ආරම්භ කිරීම ඉන්දියාවේ අපේක්ෂාව වී ඇතැයි වාර්තා වේ. ජම්මු කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේ පිහිටි චෙනාබ් ගංගාව හරහා ඉදි කෙරෙන ජල විදුලි ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු අවසන් කළද, එය සම්පූර්ණ ක්‍රියාකාරී මට්ටම දක්වා ඉහළ නැංවීම සඳහා දිගු කාලයක් ගතවනු ඇතැයි ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරියකු විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කැර තිබේ.
ඊට ඇතුළත් පාකල් ඩුල් ව්‍යාපෘතියෙන් මෙගාවොට් දහසක සහ කිරූ ව්‍යාපෘතියෙන් මෙගාවොට් 624ක විදුලි ධාරිතාවක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි ඉන්දීය රජය විශ්වාසය පළ කැර තිබේ.
මෙම ඉන්දු ජල ගිවිසුමට ගරු කරන ලෙසත්, එය නැවත සක්‍රිය කරන ලෙසත් පසුගියදා හේග් නුවර බේරුම්කාර අධිකරණය ලබා දුන් තීන්දුව ඉන්දියාව ප්‍රතික්ෂේප කළ අතර, ඉන්දු ජල ගිවිසුම සම්බන්ධව තීරණ ගැනීමට එම අධිකරණයට නීත්‍යානුකූල බලයක් නොමැති බව සඳහන් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
