
- බංග්ලාදේශය තුළ ඝාතන, මැර ක්‍රියා සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්
- බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වීම් රැසක්
- අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්රය තුළ සිදුවන අක්‍රමිකතා
බංග්ලාදේශය තුළ සිදු වන ඝාතන, මැර ක්‍රියා සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කැරගත් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණ සංවිධානය (DRPW) ආන්දෝලනාත්මක කරුණු ඇතුළත් වාර්තාවක් පසුගිය දා නිකුත් කැර තිබේ.
එහි සභාපති ආචාර්ය මොල්ලා හක් විසින් රචිත පිටු 43කින් සමන්විත එම වාර්තාව මඟින් 2024 අගෝස්තු මාසයේ සිදු වූ දේශපාලන සංක්‍රාන්තියෙන් පසු අන්තර්වාර රජය සහ වත්මන් ජාතිකවාදී පක්ෂ රජය යටතේ බංග්ලාදේශයේ පවතින මානව හිමිකම් සහ මහජන සෞඛ්‍ය තත්ත්වය දැඩි විමර්ශනයට ලක් කැර ඇතැයි වාර්තා වේ.
වසර 2024 අගෝස්තු 5 වැනිදා සිට මේ වසරේ නොවැම්බර් 7 වැනිදා දක්වා කාලසීමාව ඇතුළත සිදුවූ බව කියන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වීම් රැසක් එම වාර්තාවට ඇතුළත් වන අතර, නීති විරෝධී ඝාතන, සමූහ දේශපාලන අත්අඩංගුවට ගැනීම් මෙන්ම ආගමික හා වාර්ගික සුළුතරයන්, කාන්තාවන් හා දරුවන් ඉලක්ක කරගත් ප්‍රහාර අඛණ්ඩව සිදුවන බව පෙන්වා දී තිබේ. ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වූ එම වාර්තාව සඳහා ස්වාධීන මානව හිමිකම් නිරීක්ෂකයන්, ජාත්‍යන්තර ආයතන, මාධ්‍ය මර්දනය මෙන්ම අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්රය තුළ සිදුවන බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද කරුණු දක්වා තිබේ.
