
දකුණු අප්‍රිකාවේ ස්ථාන දෙකක සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මාරාන්තික ප්‍රහාර සම්බන්ධයෙන් එරට පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කැර තිබේ.
දකුණු අප්‍රිකානු පොලිසිය සඳහන් කරන පරිදි, ඉරිදා රාත්‍රියේ කිලෝමීටර් 530ක පමණ දුරකින් පිහිටි ස්ථාන දෙකකදී මෙම වෙඩි තැබීම් සිදුව ඇත.
පළමු සිදුවීම වාර්තා වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ පරිපාලන අගනුවර වන ප්‍රිටෝරියා (Pretoria) අසල පිහිටි ජෙෆ්ස්විල් (Jeffsville) නැමැති ජනාවාස ප්‍රදේශයෙනි. එහි පැල්පතක් තුළ තිබී පිරිමි පුද්ගලයන් හය දෙනෙකුගේ සහ කාන්තාවන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
ඉරිදා රාත්‍රී 10.00ත් 11.00ත් අතර කාලය තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක කෙරෙන අතර, සඳුදා උදෑසන ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මළ සිරුරු සොයාගෙන ඇත.
දෙවැනි වෙඩි තැබීම ක්වාසුලු-නටාල් (KwaZulu-Natal) පළාතේ පීටර්මරිට්ස්බර්ග් (Pietermaritzburg) නගරයට ආසන්න ස්වීට්වෝටර්ස් (Sweetwaters) ප්‍රදේශයේදී සිදුව තිබේ. එහිදී වෙඩි උණ්ඩ වැදී සිදුරු වූ මෝටර් රථයක් තුළ තිබී පිරිමි පුද්ගලයින් අට දෙනෙකුගේ මළ සිරුරු පොලිසිය සොයාගෙන ඇත. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි ඔවුන් එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොලිසිය තහවුරු කැර තිබේ
මෙම ප්‍රහාර දෙකට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුම් ආරම්භ කැර ඇති නමුත් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවද සඳහන් වේ.
මෑත මාස කිහිපය තුළ දකුණු අප්‍රිකාවෙන් මෙවැනි මාරාන්තික වෙඩි තැබීම් කිහිපයක්ම වාර්තා වූ අතර, එරට ගිනිඅවි ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ. පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව දකුණු අප්‍රිකාව තුළ දිනකට සාමාන්‍යයෙන් මිනීමැරුම් 60ක් පමණ වාර්තා වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම එරටට දැඩි අභියෝගයක් වී ඇත.( දිනමිණ ඇසුරෙන්)
