
හිටපු පොලිස්පති මහතා සී.ඩී. වික්‍රමරත්න ( චන්දන දීපාල් වික්‍රමරත්න ) මාලබේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේදී අද උදැසන වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් විමර්ශනයක් පවත්වා, එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මාලබේ පොලිසිය වෙත ඊයේ (17) නියෝග කැර තිබේ.
චන්දන දීපාල් වික්‍රමරත්න ජූලි 17 වැනි සිකුරාදා දින මාලබේ පොලිස් ස්ථානයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී සැරයන් රුවන් කරුණාදාස අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කෙළේය.
පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළ කරුණු
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පොලිස් සැරයන් රුවන් කරුණාදාස සඳහන් කෙළේ, තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මියගොස් ඇති බවත්, ඔහුගේ මෘත දේහය නැඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ මේ වන විටත් තැන්පත් කර ඇති බවත් රෝහල් පොලිසිය මඟින් ජූලි ඊයේ (17) පෙරවරුවේ මාලබේ පොලිසිය වෙත නිල වශයෙන් දැනුම් දුන් බවයි.
මෙම දැනුම්දීමෙන් අනතුරුව, වෙඩි වැදීම සිදුවූ ස්ථානය සහ අවට පරිසරය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් නිරීක්ෂණ චාරිකාවක් අවශ්‍ය බව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත්වරුන්ගේ අපරාධ ස්ථාන සහ රෝහල් නිරීක්ෂණ
පොලිසියේ ඉල්ලීම පරිදි ක්‍රියාත්මක වූ කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස, හිටපු පොලිස්පතිවරයාට වෙඩි වැදුණු ස්ථානය වන මාලබේ, තලාහේන පිහිටි නිවස වෙත ගොස් එම අපරාධ ස්ථානය (Crime Scene) සෘජුවම නිරීක්ෂණය කළේය. ඉන් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අතපසුවීමකින් තොරව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ ට නියෝග කරනු ලැබුය.
මේ අතර, මෘත දේහය තැන්පත් කැර තිබූ මුල්ලේරියාව රෝහල වෙත ගිය අලුත්කඩේ අංක 8 මහේස්ත්‍රාත් කසුන් කංචන දසනායක, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව ඇතුළත් නිල වාර්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කෙළේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය හිටපු පොලිස්පතිවරයාගේ පුත්‍රයා වන විනුර වික්‍රමරත්න වෙත බාර දෙන ලෙසත්, අවසන් කටයුතු මාලබේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමටත් අධිකරණය අවසර ලබා දී තිබේ.
විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායම්
මෙම මරණය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය ගේ උපදෙස් හා නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී (2) නිරෝෂන් ගේ සෘජු අධීක්ෂණය යටතේ මාලබේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.
මීට අමතරව, වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මඟින් නිකුත් කරන ලද විශේෂ නියෝගයකට අනුව, බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මඟින් ද මේ වන විට වෙනමම විශේෂ විමර්ශනයක් ආරම්භ කැර ඇත.
(Source- Teadar)
