
ඉරානයේ සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට හෝ සිවිල් යටිතල පහසුකම් වෙත අමෙරිකාව ප්‍රහාර එල්ල කළ හොත් මැදපෙරදිග කලාපයේ සියලුම අමෙරිකානු යටිතල පහසුකම්වලට ද ප්‍රබල ප්‍රහාරයන් සිදු කරන බව ඉරාන හමුදාව අනතුරු අඟවා තිබේ.

ඉරාන හමුදාවේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් ඉබ්‍රාහිම් සොල්ෆගාරි මේ බව ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.
අමෙරිකානු හමුදාව ඉරානයේ සිවිල් ස්ථාන ඉලක්ක කිරීමෙන් මැදපෙරදිග කලාපය දරුණු ප්‍රහාරයකට ලක්වනු ඇතැයි ඉරානය ප්‍රකාශ කළ බව Cyber World Press සඳහාන් කරයි . එම ප්‍රහාර නව ප්‍රදේශ කරා ව්‍යාප්ත වනු ඇතැයි ඉරාන හමුදාව වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ. උද්ගත වී ඇති අවිනිශ්චිත වාතාවරණය හමුවේ ගල්ෆ් කලාපයේ රටවල් රැසක් මේ වන විට ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානම් වෙමින් සිටින අතර, ගුවන් ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කැර ඇතැයි වාර්තා වේ. එමෙන්ම රටවල් රැසක් සිය හමුදාව සූදානමින් තබා ඇති අතර, තෙල් සහ ගෑස් යටිතල පහසුකම් මෙන්ම ගුවන්තොටුපොළ, මුහුදු ජල පවිත්‍රාගාර ඇතුළු සිවිල් ජනතාවගේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් අවට ආරක්ෂාව තර කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් එල්ල වූ අතිවිශාල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ව්‍යර්ථ කළ බව බහරේන් රාජ්‍යය පෙරේදා නිවේදනය කැර ඇති අතර, තවත් රටවල් රැසක් ද එවැනි නිවේදන නිකුත් කරමින් සඳහන් කැර ඇත්තේ ඉරාන ප්‍රහාර සාර්ථකව වැළැක්වීමට පියවර ගත් බවය.
කෙසේ වුවත් ඕනෑම ගුවන් ආරක්ෂණ පද්ධතියක් දිගු කාලයක් සක්‍රියව තබා ගැනීමට නොහැකි බැවින් ඉරාන ප්‍රහාර ඉහළ යෑමේදී තීරණාත්මක යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ. එවැනි තත්ත්වයක් මත මැදපෙරදිග කලාපයේ ආරක්ෂාවට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද ඉන් බරපතළ හානි සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
