Impartial news reporting for a stronger democratic society
සෞදි සන්ධානයේ ගුවන් ප්‍රහාරවලින් යේමනයේ පුද්ගලයන් 41ක් ජීවිතක්ෂයට

සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලින් යේමනයේ  හොඩෙයිඩා (Hodeidah) වරාය ඇතුළු තවත්  ඉලක්ක කිහිපයක්  විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමනයේ සිටින Cyber World Press වාර්තාකරු පවසන්නේ  ගතවූ පැය 24ක කාලය තුළ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 41 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනකුට වැඩි  පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඒ් බව යේමනයේ හූති පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කැර  ඇති බවත්ය.

මියගිය පිරිස අතර දරුවන් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි..

සනා, තායිස්, සාදා, ලාහිජ් සහ හජ්ජා යන ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව හූති පාලනය ප්‍රකාශ කැර තිබේ.

මේ අතර, සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය ප්‍රකාශ කැර ඇත්තේ හොඩෙයිඩා වරායේ අවි ආයුධ ජාවාරම් කිරීම සහ බැලස්ටික් මිසයිල ප්‍රවාහනය සඳහා භාවිත කරන මෙහෙයුම් පහසුකම් ඉලක්ක කැර ප්‍රහාර එල්ල කළ බවයි. සනා නුවර ඇතුළු තවත් ප්‍රදේශවල ද හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව සන්ධානය පවසා තිබේ.

කෙසේ වෙතත්, හොඩෙයිඩා වරායට එල්ල වූ ප්‍රහාරයෙන් සිදුවූ හානි හෝ මරණ සංඛ්‍යාවක් ස්වාධීනව තහවුරු වී නොමැති බව රොයිටර් පුවත් සේවය ද වාර්තා කැර තිබේ.

යේමනයේ ප්‍රධාන ආහාර හා ඉන්ධන සැපයුම් මාර්ගයක් වන හොඩෙයිඩා වරායට එල්ල වූ ප්‍රහාරය එරට මානුෂීය තත්ත්වය තවදුරටත් උග්‍ර කළ හැකි බව ද විදෙස් විචාරකයෝ පවසති.

Follow by Email
LinkedIn
Share
WhatsApp