Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකා පොලිසිය සහ බරපතළ ලිංගික අපයෝජන විමර්ශන

අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් සම්බන්ධ ළමා අපචාරා සිද්ධියට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික විමසීමේ අවස්ථාවේදී වින්දිත දැරිය වෙනුවෙන් නීතිඥයන් කිසිවක් පෙනී නොසිටීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ගොඩනැගී තිබූ කතිකාවක් ගැන මවිසින් මුහුණු පොතේ යොදනු ලැබූ සටහනකට අදාළව හිතවත් තුෂ් වික්‍රමනායක මැතිනිය මෙන්ම මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ හිතවතාද විවේචනාත්මක අදහස් ප්‍රකාශ කැර තිබූ අතර ඒ සම්බන්ධව වැඩිදුරට යමක් සටහන් කිරීම සුදුසු යැයි අදහස් කරමි.
මෙම සිද්ධිය සම්බන්ධව සමාජ මධ්‍ය ජාලා තුළ කතිකාවකට බඳුන් වූ විෂය සම්බන්ධව මා විසින් පැහැදිලි කිරීමක් කරනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ වර්තමානයේ බලපවත්නා නීතියට අනුව අපරාධ චෝදනාවක් සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන පරීක්ෂණයන්හිදී පැමිණිල්ල මෙහෙයවීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ එම විමර්ශනය මෙහෙයවන ලද පොලිස් නිලධාරීන්ට බව පසක් කර දීම සඳහා පමණකි. සමහර අවස්ථාවලදී යම් යම් සංකීර්ණ පැමිණිලි සඳහා පැමිණිල්ල මෙහෙයවීම වෙනුවෙන් නීතිපතිතුමාගේ  සහය ලබාගන්න අවස්ථාද ඇත.
එහෙත් මෙම සටහන සම්බන්ධව බොහෝ දෙනකු වැරදි මතයේ පිහිටා කටයුතු කැර ඇති බව වැටහී යයි. අනුරාධපුර සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය විසින් අනුගමනය කරන ලද දියාරු ප්‍රතිපත්තිය මා කිසිසේත් අනුමත නොකරමි. මෙහිදී පොලිසිය පමණක් නොව රජය වෙනුවෙන් ළම හා කාන්තා කටයුතු අමාත්‍යාංශයත් ළමාරක්ෂක අධිකාරියේ බලධාරීනුත්  කටයුතු කළ ආකාරය ගැන කිසිසේත් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නැත. මා දන්නා අන්දමට මෙහි මූලික විමර්ශන කටයුතු ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා විමර්ශන කාර්ය අංශය සහ නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් ඉතා මැනවින් ඉටුකරන ලද නමුත්, සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව වන විට සියලු විමර්ශන කටයුතු කණපිට හැරවෙන ස්වභාවයක් පෙන්නුම් කරන ලදී.
මෙහිදී අදිසි බලවේගයක් ක්‍රියාත්මක වූ බව ඉතා පැහැදිලිය. සැකකාර හිමිනුම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිස්පතිවරයා මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කැර ඇති බවද කියවිණි එහෙත් නෛතිකව  එය කිසිසේත් අවශ්‍ය කාරණයක් නොවේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවේදී ද පොලිසිය කතා නායකවරයාගෙන් අවසර ලබා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පසුගිය කාලය අසන්නට ලැබෙන ලදී. එය කිසිසේත් අවශ්‍ය නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත නොහැකි එකම අවස්ථාව වන්නේ ඔහු සභා වාරයකට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තුවට යන අවස්ථාවේ සහ සභා වාරය අවසන්ව ආපසු එන අවස්ථාවේදීී පමණි. අත්අඩංගුවට ගැනීමට කතානායකවරයාගේ අවසරය අවශ්‍ය නොවන නමුත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ බව කථානායකවරයාට දැනුම් දීම අවශ්‍ය නම් සිදු කළ හැක. මේ ආකාරයට නෛතික තත්ත්වය ඉතා පැහැදිලිව තිබියදී අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව කිසිවකුගේ අවසරයක් අවශ්‍ය නොවන බව පොලිස් බලධාරීන් මනාව තේරුම් ගත යුතුයි.  මේ සියල්ල ඔවුන් විසින්ම ස්වයංව පනවා ගන්නා ලද වාරණ ලෙස සැලකිය හැක.
මෙම සිද්ධිය සම්බන්ධව 2026/05/15 දින අනුරාධපුර  මහේස්ත්‍රාත් අධිකරණයේය පවත්වනු ලැබූ විමසීමේ අවස්ථාවේදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිී අධ්‍යක්‍ෂිකා සංජීවනි අබේකෝන් මහත්මිය විසින් මෙම විමර්ශන කටයුතු ඉතා දියාරු අන්දමින් සිදු කිරීම ගැන පොලිසිය දැඩි ලෙස විවේචනයට ලක්කර තිබෙන ලදී. මීට අමතරව මේ සම්බන්ධව විමර්ශන ගොනුව දැනටමත් නීතිපතිවරයා වෙත උපදෙස් සඳහා යොමු කැර ඇති බවක්ද අසන්නට ලැබිණි. මේ හැම සිදුවීමකින්ම ගම්‍ය වන්නේ මෙම බරපතළ ළමා අපචාර සිද්ධිය සම්බන්ධව සැකකාර හිමිනමට එරෙහිව නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවය.

වින්දිත දැරියට බරපතළ ලෙස අපහාසාත්මක ප්‍රකාශයක් කරනු ලැබූ හිටපුඇමැතිවරයා තවම නිදැල්ලේ හැසිරෙමින් සිටි. අද දින අධිකරණය හමුවේ පොලිසිය දෝෂ දර්ශනයට ලක් කරන ලද මෙම විමර්ශනය සම්බන්ධව ඉතා උනන්දුවෙන් සහභාගී වන ළමාරක්ෂක අධිකාරිය නීතී අධ්‍යක්ෂකවරියට සම්බන්ධවද මේ වන විට කීර්ති රත්නායක නමැත්තෙකු විසින් අසත්‍ය චෝදනා නගමින් සිටි. මේ සෑම ආකාරයකින්ම සිදුවන්නේ විමර්ශනයට බාධා කිරීම හෝ අඩාල වීමයි. මෙවැනි අවස්ථාවකදී පොලිසිය කටයුතු කළ යුත්තේ විමර්ශනයට මෙන්ම අධිකරණ කෘතියට ද බාධාවක් කරන මෙවැනි පුද්ගලයන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමය.

2020 වර්ෂයේ මා නියෝජ්‍ය පොලිස්පති අපරාධ ලෙස ළමා හා කාන්තා කාර්යාංශයේ  අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී සාමණේර හිමිවරුන් දෙනමක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කරන ලද අනුරාධපුර ප්‍රදේශයේම ආරණ්‍ය සේනාසන හයක හිමිකරු වන චීවරධාරියකු කොළඹින් යවනු ලැබූ  නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරන ලදී. මෙම චීවරධාරියා බේරා ගැනීම සඳහා මහා සටනක් කරනු ලැබුවේ ගෝඨාභය නිකායේ ප්‍රකට මහාචාර්ය හිමිනමකි. මේ සඳහා හිටපු ජනාධිපතිවරයාද මැදහත් වූ බව පසුව ආරංචි විය. මෙම චීවරධාරියා අත්අඩංගුවට ගැනීම බෞද්ධාගමට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව මහාචාර්ය හිමි නම විසින් ළමා හා කාන්තා කාර්යාංශයේ එවකට අධ්‍යක්ෂකවරියට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිල්ලක්ද සිදු කරන ලදී. එම පැමිණිල්ලට අනුව පොලිස්පතිවරයා එවකට ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරියට එරෙහිව කටයුතු කිරීමට උත්සාහ කරනු ලැබූ අතර, සැකකාර චීවරධාරියා බේරා ගැනීමට සියලු ප්‍රයත්නයන් දරන ලදී. මේ සම්බන්ධ ව පැවති පරීක්‍ෂණය සඳහා මා නොකැදවනු ලැබූ නමුත්, අනාරාධිතව එම ස්ථානයට ගිය මා මගේ නියෝග අනුව ක්‍රියා කරන ලද අධ්‍යක්ෂකවරිය වෙනුවෙන් පෙනී සිටීමි. මහාචාර්ය හිමිනමට සත්‍ය කරුණු පහදා දුන් අතර, සැකකාර චීවරධාරියා දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාර ගත කැර පසුව ඔහුට විරුද්ධ දැනට මහාධිකරණය නඩු විභාගය පවත්වනු ලැබේ.
මෙවැනි සිදුවීම්වලදී මෙම විමර්ශන භාරව කටයුතු කරන පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් ක්‍රියා කළ යුත්තේ එසේය. මෙම සිදුවීම සම්බන්ධව පොලිසිය මෙහෙයවන අදිසි හස්තයක් ක්‍රියාත්මකව ඇති බව මනාවට පැහැදිලි වේ.  මේ සිද්ධිය සම්බන්ධව  ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලබයි. ඒ වින්දිත දැරියගේ පාර්ශ්වයට වඩා බලවත් සැකකාර පාර්ශ්වය අහිමි කැර ගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් බව ඉතා පැහැදිලිය.
මෙවැනි විමර්ශනයකදී පොලිස් විමර්ශනය කටයුතු ළමා ආරක්ෂක අධිකාරියේ කිට්ටු අධීක්ෂණයට ලක් කිරීම ළමාරක්ෂක අධිකාරිය වගකීමක් වන අතර, මෙවැනි විමර්ශන සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් ඇති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා වැනි වියතකු ගේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් යෝජනාවකි. ඒ තුළින් මෙවැනි  විමර්ශනවල පාරදෘෂ්‍යභාවය මහජනතාවට වඩාත් පැහැදිලි වන ලෙස සිදු කිරීම නීතිය ආධිපත්‍යය සම්බන්ධව මහජනතාව තුළ විශ්වාසය ගොඩනැගීමට මහත් පිටුවහලක් වන බව සඳහන් කළ යුතුය.

පසුගිය කාලය තුළ අමෙරිකා එක්සත් ජනපදයෙන් මෙන්ම ඕස්ට්‍රේලියාවෙන්ද පේරු රාජ්‍යයෙන්ද කතෝලික සභාවේ ප්‍රධාන කාදිනල්වරු තිදෙනෙකු මෙවැනි ආකාරයේ බරපතළ ලිංගික අපයෝජන චෝදනා හමුවේ අත්අඩංගුවට පත්ව ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ කාදිනල් “තියඩෝරා මැක්කාරික්” ඔස්ට්‍රේලියාවේ කාදිනල් ” ජෝර්ජ් පෙල්” සහ පේරු රාජ්‍යයේ කාදිනල් “ජුවාන් ලුවිස් කැප්‍රියානි මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වූ කාදිල්ලවරුන්ය. ඔවුනට එරෙහිව නඩු විභාගයන් මේ වන විටත් පැවැත්වෙමින් තිබේ. සිද්ධිය වාර්තා වූ වහාම ඔවුන්ගේ පූජකවරය අහෝසි කිරීමට වතිකානුව කටයුතු කර ඇත.

බොහෝ දෙනා වැරදියට වටහා ගන්නා කාරණයක් වන්නේ, මෙවැනි සිද්ධියකදී සැකකාර හිමිනමට එරෙහිව කටයුතු කිරීම යනු උතුම් වූ බුද්ධ ශාසනයට එරෙහිව කටයුතු කිරීමක් ලෙසයි. එහෙත් මෙවැනි චීවරධාරීන් එරෙහිව නීති මඟින් කටයුතු කිරීම තුළින් සිදුකළ හැකි වන්නේ උතුම් වූ බුද්ධ ශාසනය තවදුරටත් ආරක්ෂා කැර ගැනීම විනා එය විනාශ කිරීම නොවේ.

සටහන — ප්‍රියන්ත ජයකොඩි

(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති )

උපුට ගැනීම – The Leader

Follow by Email
LinkedIn
Share
WhatsApp