
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් බැහැරව සිටින පිරිසෙන් අති බහුතරය කාන්තාවන්ය.
ශ්‍රම බලකායට අයත් නොවන පුද්ගලයන් 8,625,859 දෙනාගෙන් 6,185,730ක් පමණ කාන්තාවන් වන අතර පිරිමින් 2,440,129ක් වෙයි.
ඒ අනුව, ශ්‍රම බලකායෙන් බැහැරව සිටින සමස්ත ජනගහනයෙන් දළ වශයෙන් 72%ක් කාන්තාවන්ගෙන් සමන්විත වූ අතර, පිරිමින්ගේ ප්‍රතිශතය 28%ක් පමණ වෙයි.
වයස අවුරුදු 25ත් 34ත් අතර කාන්තාවන්ගෙන් 87%ක් සහ වයස අවුරුදු 35ත් 54ත් අතර කාන්තාවන්ගෙන් 93.6%ක්, තමන් ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන තත්ත්වයේ පසුවීමට හේතුව ලෙස පවුලේ වගකීම් පෙන්වා දී ඇති බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
‘UN Women’ (එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය) ට අනුව, ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම දවසේ සැලකිය යුතු කාලයක් ආහාර පිසීම, නිවස පිරිසිදු කිරීම, රෙදි සේදීම සහ දරුවන්, වැඩිහිටියන් හා රෝගීන් රැකබලා ගැනීම වැනි ගෘහස්ථ කටයුතු සඳහා වැය කිරීමට සිදුවී ඇති බව පෙන්වා දෙයි.
