
සාගර ධීවර කර්මාන්තය ඉහළ ඉන්ධන පිරිවැයක් හමුවේ අභියෝගවලට ලක්ව ඇති මෙවන් අවස්ථාවක, මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ජාතික ආහාර සුරක්ෂිතතාවයට අත්‍යවශ්‍ය සාධකයක් වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පැවසීය.
ඒ් මහතා මේ බව පැවසුවේ, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ නැඟෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව යළි නඟා සිටුවීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කැරගත්, අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක (රුපියල් මිලියන 436ක් පමණ) නිල ගිවිසුමට අත්සන් කිරීම වෙනුවෙන් කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ පසුගියදා (29) පැවැති චාම් උත්සවයට එක් වෙමිනි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මඟින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිත අතර, මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සහ FAO නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා අත්සන් තැබූහ.
එහි දී තවදුරටත් තානාපතිවරයා මෙසේද පැවසීය.
ජපානය සැමවිටම ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් නොසැලෙන මිතුරෙකු ලෙස පෙනී සිටිනවා. ශ්‍රී ලංකාව සංවර්ධනයේ මාවත වෙත අද ගමන් කරමින් සිටිනවා.ඒ් සඳහා සහාය දැක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා.මෙම ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය ජපාන රජය විසින් ලබා දෙනවා. සාගර ධීවර කර්මාන්තය ඉහළ ඉන්ධන පිරිවැයක් හමුවේ අභියෝගවලට ලක්ව ඇති මෙවන් අවස්ථාවක, මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ආහාර සුරක්ෂිතතාවයට අත්‍යවශ්‍ය සාධකයක් බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රි ලංකා රජය වෙනුවෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මේ අවස්ථාවට එක් වෙමින් මෙසේ පැවසීය.
මෙම ව්‍යාපෘතිය මෙරට මිරිදිය ධීවර කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්.අපේ රටේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ නැංවීමට ලැබුණු මෙම සහාය පිළිබඳව මම ජපාන රජයට සහ FAO සංවිධානයට ස්තූතිවන්ත වෙනවා. සාගර ධීවර කර්මාන්තයට සාපේක්ෂව අඩු ඉන්ධන පිරිවැයක් යටතේ ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමටත්, අනාගතයේදී අපනයන අවස්ථා කරා යාමටත් මෙම නවීන කූඩු වගා ක්‍රමය (Cage Culture) අපට මනා පිටුවහලක් වෙනවා. මෙය නැඟෙනහිර පළාතේ පමණක් නොව සමස්ත ලංකාවේම මිරිදිය ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීමට ලැබුණු විශාල අවස්ථාවක් වෙනවා.
ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහන් මෙසේය-
– නැඟෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් (Fish Cages) ස්ථාපිත
කිරීම.
– අදාළ ජලාශ සඳහා අවශ්‍ය Barrage nets පද්ධති ලබාදීම.
– නැඟෙනහිර පළාතේ ඉඟිණියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කිරීමට
අවශ්‍ය හෝමෝන සහ රසායනික ද්‍රව්‍ය සැපයීම.
– ධීවර සමිති සහ නියෝජිතයින් සඳහා Cage Culture පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීම.
– පළමු වගා වටය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර (Feed) නොමිලේ ලබාදීම. මෙයට ඇතුළත් වෙනවා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සටහන — චන්දන විජේකෝන්

(Cyber World Press)
