Impartial news reporting for a stronger democratic society
 රවී සහ ශානිට එරෙහිව සුරේෂ් සලේ උසාවියේදී රහස් රැසක් හෙළි කරයි !

“FBI සහ ස්කොට්ලන්ඩ් යාඩ් වාර්තාවලට මොකද වුණේ?”

– බුද්ධි තොරතුරු ගොඩක් ලැබිලත් පාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියා නොකළ අය මාව විමර්ශනය කරන්නේ කොහොමදැයි හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් බරපතළ ප්‍රශ්නයක්

සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කළ පැය ගණනක නීතිමය සටන; නීතිපතිගෙන් අතරමැදි පෙත්සම් 8කට දැඩි විරෝධයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන නවතම විමර්ශන මාලාව යටතේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රකාරව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දරන උත්සාහය වළක්වන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (ජූලි 14) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය විය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලුණු අතර, වත්මන් විමර්ශන මෙහෙයවන ඉහළ නිලධාරීන්ගේ පැරණි ක්‍රියාකලාපය මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක් කෙරිණි.

නුවර පෙරහැර සැලසුම සහ CIDයේ නිලධාරීන් 5 දෙනාගේ කතාව

හිටපු බුද්ධි ප්‍රධානියා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, පාස්කු ප්‍රහාරයට අදාළ ජනක් ද සිල්වා කොමිසමේ සාක්ෂි උපුටා දක්වමින් විමර්ශනවල සිදුවූ බරපතළ පැහැර හැරීම් අධිකරණය හමුවේ තැබීය.

පෙරහැර ප්‍රහාර සැලසුම:
සහරාන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායම මුලින්ම සැලසුම් කර තිබුණේ කතෝලික පල්ලිවලට පහර දීමට නොව, මහනුවර ඇසළ පෙරහැරට පහර දී සිංහල-මුස්ලිම් ලේවැකි ගැටුමක් ඇති කිරීමටය. එහෙත් මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය ඔස්සේ වනාතවිල්ලුව සහරාන්ගේ රහස් කඳවුර පොලීසිය වැටලීමත් සමඟ තමන් කොටුවූ බව වටහාගත් සහරාන්, සැලසුම් කඩිනම් කරමින් පාස්කු ප්‍රහාරය එල්ල කළේය.
ශානිගේ නොසැලකිල්ල:
වනාතවිල්ලුව වැනි බැරෑරුම් සහ මාරාන්තික ආරක්ෂිත කඳවුරක් වැටලීමේ මූලික විමර්ශනය සඳහා එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් අනුයුක්ත කර තිබුණේ නිලධාරීන් 5 දෙනෙකු පමණි. 700ක නිලධාරී බලකායක් සිටියදී මෙවැනි බරපතළ ජාතික ආරක්ෂක තර්ජනයකට දැක්වූයේ ඉතාම අවම ප්‍රතිචාරයකි.

ලැබුණු බුද්ධි තොරතුරු සහ විදේශීය වාර්තා අතුරුදහන් වීම

තොරතුරු යටපත් කිරීම:
2019 ජනවාරි 25 සිට අප්‍රේල් 20 දක්වා කාලය තුළ සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බ සැලසුම් සහ ඔවුන් සැඟවී සිටින ස්ථාන පිළිබඳව එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ලිපි මඟින් CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත නිල වශයෙන් පිටපත් යොමු කර තිබුණි. එහෙත් එම බුද්ධි වාර්තා කිසිවක් විමර්ශන කළ බිම් මට්ටමේ නිලධාරීන්ට (පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි වැනි) ඉහළ බලධාරීන් විසින් ලබා දී නොමැත.
විදේශීය පරීක්ෂණ වාර්තා කෝ?:
ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ FBI, ස්කොට්ලන්ඩ් යාඩ්, ඔස්ට්‍රේලියානු රහස් පොලිසිය සහ ඉන්දියානු කණ්ඩායම් පැමිණ කළ පරීක්ෂණ වාර්තා, විමර්ශන මෙහෙයවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ ට පවා ලබා නොදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති මට්ටමින් සඟවා තබාගෙන තිබීම බරපතළ ගැටලුවකි.
අසාද් මවුලානා හමුවීම:
මෑතකදී ශානි අබේසේකර ප්‍රංශයට ගොස්, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වරෙන්තුකරුවකු වන අසාද් මවුලානා කැඳවා ප්‍රකාශයක් ලබාගෙන කිසිදු නීතිමය පියවරකින් තොරව හිස් අතින් මෙරටට පැමිණීම ද සැක සහිතය.

මෙවැනි වගකීම් විරහිත ලෙස කටයුතු කළ සහ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත් පුද්ගලයන් වර්තමානයේ තම සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.
වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන ජූලි 17 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළ අතර, මෙම පෙත්සමට මැදිහත් වීමට ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් 8ක් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් සිය දැඩි විරෝධතාව අධිකරණය හමුවේ සටහන් කළාය.( The Leader ඇසුරෙන් )

Follow by Email
LinkedIn
Share
WhatsApp