
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විමර්ශනය කිරීමට සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අසමත් වී ඇති ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මගින් එළිදක්වා තිබේ.
චෙම්මනි: ‘අපි තවමත් සොයමින් සිටින්නෙමු’ හිසින් යුතුව දකුණු අප්‍රිකාව මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් ජුලි 14 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් කියා සිටින්නේ යාපනය අර්ධද්වීපයේ පිහිටි චෙම්මනි සමූහ මිනීවළ, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශන සිදු කිරීම, සත්‍යය තහවුරු කිරීම, සාක්ෂි ප්‍රමාණවත් වන අවස්ථාවල වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම සහ අතුරුදන් වූවන්ගේ පවුල්වලට යුක්තිය හා වගවීම ලබාදීම සම්බන්ධයෙන් සලකන විට මේ තාක් රට පාලනය කළ ආණ්ඩු විසින් පෙන්වා ඇති ක්රමානුකූල, අඛණ්ඩ සහ හිතාමතා සිදු කළ අසාර්ථකත්වයේ සංකේතයක් බවයි.
“මගේ පුතාගේ ශරීර කොටස් චෙම්මනියේ වළ දමා තිබී සොයාගත්තොත් මම දැඩි ලෙස කම්පාවට පත්වෙනවා, එහෙම නොවුණත් මම දැඩි ලෙස කම්පාවට පත්වෙනවා, ” යැයි 1999 දී අතුරුදන් වූ තම පුතා පිළිබඳ අදහස් දක්වමින් පරමනාදන් සෙල්වරාජා පැවසූ බව නිවේදනයේ සඳහන්. “මට සතුටු වෙන්නෙ පුළුවන් වෙන්නේ මගේ පුතා ජීවතුන් අතර ඉඳලා ආපසු ආවොත් විතරයි.”
“චෙම්මනි සමූහ මිනීවළ: ‘අපි තවමත් සොයමින් සිටින්නෙමු’” යන හිසින් යුත් පිටු 45 ක වාර්තාව, දශක තුනක් ගතවී තිබියදීත් තම ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳ තොරතුරු නොදැන, ඔවුන්ගේ ශරීර අවශේෂ පවා නැවත ලබාගැනීමට නොහැකිව සිටින, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාක්ෂි ප්‍රකාශ බොහොමයක ආරම්භක වචන පිළිබිඹු කරන බවයි මාධ්‍ය නිවේදනය පවසන්නේ.
දැනට ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති විශාලතම සමූහ මිනීවළ ළමා ලපටින්ගේද ඇතුළු ඇටසැකිලි හාරසියයකට වඩා ගොඩගෙන ඇති චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයයි. එහි විශාලත්වය, එම ස්ථානයට අදාළ සාක්ෂි දිගු කාලයක් පුරා සඟවා තබා ඇතැයි කියන චෝදනා, මෙන් ම ගැටුම් සමයේ ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලදැයි චෝදනා කෙරෙන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීතිවිරෝධී ඝාතන සහ අනෙකුත් බරපතළ උල්ලංඝන සමග එම ස්ථානය සම්බන්ධ කරන සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් පවතින බැවින්, එය විශේෂ අවස්ථාවක් බව මෙම වාර්තාවේ නිගමනය වේ.
දශක ගණනාවක් පුරා රැස්කරගත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි, අධිකරණ වාර්තා, එම කාලයේ ලේඛනගත කළ තොරතුරු, හමුදා තොරතුරු සහ පෙර සිදු කළ විමර්ශන මත පදනම්ව, මෙම වාර්තාව දක්වා සිටින්නේ චෙම්මනිය තවදුරටත් හුදෙක් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයක් ලෙස පමණක් නොසැලකිය යුතු බවත්, ඒ වෙනුවට එය බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීතිවිරෝධී ඝාතන සහ ඒ හා බැඳුනු ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් යළි ආරම්භ කරන ලද අපරාධ පරීක්ෂණ සඳහා සහාය විය හැකි සාක්ෂියක් ලෙස සැලකිය යුතු බවත්ය.
(ITJP) විසින් ජුලි 14 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ චෙම්මනියට අදාළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ඉහළ මට්ටමේ හමුදා අණදෙන නිලධාරියකු අපරාධ වගකීමට යටත් කර නොමැති බවයි.
“මේ දක්වා, චෙම්මනියට අදාළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු මධ්‍යම හෝ ජ්‍යෙෂ්ඨ මට්ටමේ හමුදා අණදෙන නිලධාරියෙකු අපරාධ වගකීමට යටත් කර නොමැත. ඒ වෙනුවට, අදාළ කාලසීමාව තුළ එම ප්‍රදේශයේ සේවය කළ නිලධාරීන් කිහිපදෙනෙකු පසුකාලීනව වැඩි බලතල සහ වගකීම් සහිත තනතුරුවලට උසස් කරනු ලැබීය. ”
මෙම වසරේ ජූනි මාසයේදී එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර , 1998 වසරේ සිදුවීම් සම්බන්ධයෙන් රජය සතුව තොරතුරු නොමැති බවත්, අතුරුදහන් වූවන්ගේ පවුල් විසින් වගකිවයුත්තන් හඳුනාගත යුතු බවත් ප්‍රකාශ කර තිබුනි. ITJP සිය වාර්තාව මගින් තර්ක කරන්නේ චෙම්මනියේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම සහ නඩු පැවරීම සඳහා බලු බැල්මට පෙනෙන (prima facie) පදනමක් පවතින බවයි.
එමෙන්ම එවැනි විමර්ශන ආරම්භ කිරීමට අපොහොසත් වීම, සාක්ෂි නොමැතිකමක් නොව, වගවීමේ අඛණ්ඩ අඩුපාඩුවක් පිළිබිඹු කරන බවද එමගින් පෙන්වා දෙයි.
වාර්තාවට අමුණා ඇති උපලේඛනයක සැකකරුවන් ලෙස නම් කරන ලද හමුදා නිලධාරීන් හත්දෙනකු හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ඔවුන්ගෙන් දෙදෙනකු පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ යොදවා තිබූ ආකාරයට ද සිය වාර්තාව මගින් සිහිපත් කර තිබේ.
“ එම නිලධාරීන් දෙදෙනෙකු පසුව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමග හයිටියෙහි සේවයේ යොදවා තිබූ අතර, එම කාලය තුළ ශ්‍රී ලංකා සොල්දාදුවන් විසින් ළමුන්ට එරෙහිව පුළුල් ලෙස ලිංගික සූරාකෑම් සහ අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල විය. තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට පසු කාලීනව මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම ඇතුළු වෙනත් චෝදනා එල්ල වී ඇත. මේවා වෙනස් සිදුවීම් වුවද, සමස්තයක් ලෙස සලකා බැලූ විට, වගවීමේ අඛණ්ඩ අසාර්ථකත්වය, අපයෝජන චක්‍ර අඛණ්ඩව පවත්වාගෙන යාමට, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජන විශ්වාසය පිරිහීමට සහ බරපතළ උල්ලංඝනයන්ට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයන්ට සැලකිය යුතු විමර්ශනයකින් තොරව තවදුරටත් බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසෙන ආකාරය මෙයින් පෙන්නුම් කරයි.”
ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සිය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ චෙම්මනිය යනු හුදෙක් ඓතිහාසික අපරාධ ස්ථානයක් පමණක් නොව, සත්‍යය, යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳ අඛණ්ඩ පරීක්ෂණයක් බවයි.
“ජාත්‍යන්තර නීතිය යටතේ, අතුරුදන් වූ පුද්ගලයාගේ ඉරණම සහ ඔහු හෝ ඇය සිටින ස්ථානයක් තහවුරු කරන තෙක්, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අඛණ්ඩව සිදුවන උල්ලංඝනයක් ලෙස සැලකේ. පවුල්වලට නම්, මිනිස් සිරුරු අවශේෂ සොයාගැනීම ආරම්භයක් පමණි. අවසානයේදී යුක්තිය ඉටු වීමට නම්, ස්වාධීන අපරාධ විමර්ශන, සාක්ෂි මත පදනම්ව වගකිවයුත්තන් හඳුනාගැනීම සහ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඵලදායී ප්‍රතිකර්ම ලබාදීම අත්‍යවශ්‍ය වේ.”
2025 මැයි 15 වැනිදා සිට 2026 ජුනි 23 වැනිදා දක්වා ගතවු වසරකට වැඩි කාලයක් තුළ අදියර තුනක් ඔස්සේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ දින 86 ක් පුරා සිදු කළ කැනීම් වලින් මතු කරගත් පුද්ගලයන් 412 දෙනකුට අයත් අස්ථි වලින් මිනිස් සිරුරු 409 ට අයත් ඇටසැකිලි මේ වන විටත් ගොඩ ගෙන තිබේ.
කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා තාවකාලිකව අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකාවෙන් මෙතකේ හමුවු විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජුලි 15 වැනි බදාදා යි.
Source- The Leader
