
චීන තාක්ෂණික ආක්‍රමණය හමුවේ ඉන්දීය බිලියනපතියා වන මුකේෂ් අම්බානි තෙවැනි තැනට පත්ව ඇති බව අනාවරණය වෙයි.
ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයේ සිදු වූ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, TikTok හිමිකාරීත්වය දරන චීනයේ ‘Byte Dance’ සමාගමේ නිර්මාතෘ ෂෑං යිමින් (Zhang Yiming), ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන මුකේෂ් අම්බානිව අභිබවා ආසියාවේ දෙවැනි ධනවතා බවට පත්ව තිබේ.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ නවතම දර්ශකයට අනුව, ෂෑං යිමින්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 92.8 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ චීනයේ අංක එකේ ධනවතා ලෙස ඔහුගේ කිරුළ තවදුරටත් තහවුරු කරමිනි.
මේ සමඟම ඩොලර් බිලියන 86.9 ක වත්කමකට හිමිකම් කියන මුකේෂ් අම්බානි ආසියාවේ තෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර, ඩොලර් බිලියන 117.4 ක වත්කම් සහිත ගෞතම් අදානි ආසියාවේ ප්‍රථම ස්ථානය තවදුරටත් රැකගෙන සිටියි.
අමෙරිකානු තහනමෙන් මිදී AI ලෝකය ජයගත් ‘ByteDance’
2019 වසරේදී ඩොලර් බිලියන 13 ක වත්කමකින් ඇරඹි ෂෑංගේ ව්‍යාපාරික ගමන වසර කිහිපයක් ඇතුළත හත් ගුණයකින් වර්ධනය වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ TikTok හි ගෝලීය සාර්ථකත්වය මෙන්ම ඔවුන් සතු ‘ඩූබාවෝ’ (Doubao) AI චැට්බොට් යෙදවුමේ අති දැවැන්ත ජනප්‍රියතාවයයි.
මාසිකව මිලියන 300 කට අධික පරිශීලකයින් පිරිසක් භාවිත කරන ‘ඩූබාවෝ’ සඳහා ඉදිරියේදී මාසික දායකත්ව ගාස්තු (Subscription fees) අය කිරීමට ද සමාගම සූදානම් වේ.
මීට පෙර අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පනවන ලද TikTok තහනම් කිරීමේ අවදානම හේතුවෙන් බ්ලූම්බර්ග් දර්ශකය මඟින් ByteDance හි වටිනාකම 25% ක අවදානම් කප්පාදුවකට ලක් කැර තිබුණි. කෙසේ වෙතත්, Oracle, Silver Lake සහ අබුඩාබි හි MGX ආයෝජන සමාගම ප්‍රමුඛ අමෙරිකානු ආයෝජකයින් වෙත එහි අමෙරිකානු මෙහෙයුම් සාර්ථකව පැවරීමත් සමඟ එම අවදානම් කප්පාදුව 10% දක්වා අඩු කිරීමට බ්ලූම්බර්ග් පියවර ගත්තේය.
බ්ලැක්රොක් සහ ෆිඩෙලිටි වැනි ප්‍රමුඛ ආයෝජන සමාගම්වල නව තක්සේරු කිරීම් සමඟ ෂෑංගේ වත්කම එක රැයින් ඩොලර් බිලියන 24 කින් පමණ ඉහළ ගියේය.
ඩොලර් බිලියන 70ක AI ආයෝජනයක් සමඟ අනාගතයට
වසර ගණනාවක් පුරා පැවති දේශපාලන සහ නියාමන අවිනිශ්චිතතාවයන් නිමා කරමින්, බීජිං පදනම් කරගත් ByteDance සමාගම මේ වන විට කෘතිම බුද්ධි (AI) තාක්ෂණය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක නිරත වෙමින් සිටී.
අමෙරිකානු සමාගම්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් චීන AI වෙළෙඳපොළේ පෙරමුණ ගැනීම සඳහා ඔවුන් මේ වසරේදී ඩොලර් බිලියන 70 ක මුදලක් වියදම් කිරීමට සාකච්ඡා කරමින් සිටින අතර, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අපේක්ෂා කරන්නේ 2025 වසරේදී ඔවුන් උපයා ගත් ඩොලර් බිලියන 50 කට ආසන්න ශුද්ධ ලාභයෙනි.
තාක්ෂණික ලෝකයේ බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට මෙම නවතම වාර්තාව කදිම සාක්ෂියකි.
( Source- The Leader)
