
ගෝලීය දකුණේ නැඟී එන ආර්ථිකයන් තුළ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, අසමානතාවන් අවම කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව බ්‍රික්ස් සංවිධානයේ නව සංවර්ධන බැංකුවෙන් තරගකාරී පොලී අනුපාත යටතේ ණය ලබා දීමට තවදුරටත් සහයෝගය ලබා දෙන බව බ්‍රික්ස් රාජ්‍ය නායකයන් ප්‍රකාශ කැර තිබේ.
බ්‍රික්ස් සංවිධානයේ නව සංවර්ධන බැංකුව දෙවැනි ස්වර්ණමය දශකයට පා තබා ඇති බවත්, සියලුම සාමාජික රටවල් අතර මෙන්ම ගෝලීය දකුණේ සංවර්ධනය හා නවීකරණය සඳහා ප්‍රබල උපායමාර්ගික නියෝජිතයකු ලෙස තවදුරටත් කටයුතු කරන බවත් ඒකාබද්ධ ප්රකාශනය නිකුත් කරමින් බ්‍රික්ස් රාජ්‍ය නායකයන් සඳහන් කළ බව Cyber World Press වාර්තා කරයි.
නැඟී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රමුඛතා හා යටිතල පහසුකම් අවශ්‍යතා සපයා දීමේදී සිය බැංකුව ඉටු කරනු ලබන කාර්යභාරයට පූර්ණ සහය ලබා දෙන බව ද බ්‍රික්ස් නායකයන් අවධාරණය කැර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව වැනි බටහිර මූල්‍ය ආයතනවල දිගුකාලීන ලක්ෂණයක් වන බරපතළ කොන්දේසිවලින් තොරව බ්‍රිස්ක් නව සංවර්ධන බැංකුව කටයුතු කරන අතර, බටහිර ආධිපත්‍යය සහිත ආයතන මත රැඳී පැවතීම අවම කරමින් කලාපීය ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීමේ වැඩි අවස්ථාවක් එමඟින් උදාවී ඇතැයි වාර්තා වේ. අමෙරිකානු ඩොලර් බිලියන 100ක විදේශ විනිමය සංචිත එකතුවක් ඇති නව සංවර්ධන බැංකුව හදිසි අවස්ථාවලදී සිය සාමාජිකයන්ට ආරක්ෂක වළල්ලක් ලෙස ද ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
