Impartial news reporting for a stronger democratic society
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට – හන්තානයේ ජනාවාසවලට කොටි තර්ජන !


හන්තාන  ප්‍රදේශයේ වනාන්තර එළිපෙහෙළි  කිරීමේ හේතුවෙන්  කොටි ජනාවාස වෙත පැමිණීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට අයත් උඩ පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ගොවිපොළේ ගාල් කැර සිටි වසු පැටවකු පසුගිය සතියේදී කොටියකුගේ ගොදුරක් බවට පත්ව තිබේ.

 පසුගිය මාර්තු මාසයේදී ද මෙම ගොවිපොළේම සිටි තවත් වසු පැටවකු මෙලෙස කොටියකුට බිලි වී තිබූ අතර, මෙම අඛණ්ඩ සිදුවීම් මඟින් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සහ ඊට ආසන්න ජනාවාසවල යම් නොසන්සුන් භාවයක් නිර්මාණය වී ඇති බව අනාවරණය වෙයි.

පශු වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන මෙම ගොවිපොළේ එළගවයන්, මී ගවයන්, එළුවන්, හාවන් සහ කුකුළන් වැනි සතුන් රඳවා සිටිති. මෙයට පෙර ද විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ කාර්යාලයක් අසල කොටියකු ගැවසෙන ආකාරය ආරක්ෂිත කැමරාවල (CCTV) සටහන් වී තිබි ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රසික ජිනදාස ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව හන්තාන රක්ෂිත වනාන්තරය තුළ කොටින් පස්දෙනෙකු පමණ ජීවත් වන බව අනාවරණය වී තිබේ. වනාන්තර ප්‍රදේශ විවිධ කටයුතු සඳහා එළිපෙහෙළි වීම හේතුවෙන් සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන සීමා වී ඇති අතර, කැලෑබද ප්‍රදේශවල වෙසෙන මුවන් සහ හාවන් වැනි සතුන් නීති විරෝධී ලෙස දඩයම් කිරීම නිසා කොටින්ට ගොදුරු සොයාගැනීම අභියෝගයක් වී ඇත.

එසේම, මේ දිනවල කොටින් පැටවුන් බිහි කරන කාලය බැවින් උන් ගොදුරු සෙවීම සඳහා වඩාත් සක්‍රීයව හැසිරෙන බවත්, ස්වාභාවික ගොදුරු හිඟ වීම හමුවේ ජනාවාස දෙසට පැමිණ බල්ලන්, එළුවන් සහ ගව පැටවුන් වැනි සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවත් විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දෙයි.

පවතින තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් සඳහන් කෙළේ,  පසුගිය මාර්තු මාසයේ සිදුවීමේ සිටම සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගෙන ඇති බවයි. අදාළ කොටින් ආරක්ෂිත වෙනත් වාසස්ථාන වෙත මාරු කැර යවන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන් (කලාපීයව කොටින් ලෙස හඳුන්වන) මිනිස් මස් අනුභව කිරීමට හුරු වූ සතුන් ලෙස වාර්තා වී නොමැති බව පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙයි. ශ්‍රී ලංකා දිවියා සාමාන්‍යයෙන් තමන්ගේ ඇස් මට්ටමට වඩා පහළින් ඇති ගොදුරු දඩයම් කිරීමට පෙළඹෙන බැවින් මිනිසුන්ට ඍජු තර්ජනයක් එල්ල කිරීමේ ප්‍රවණතාව අඩුය. නමුත් මිනිසුන් බිම වාඩි වී සිටින විට හෝ බිම නිදා සිටින විට උන් කඩා පැනීමේ අවදානමක් පවතින බැවින්, විශ්වවිද්‍යාල සමූහය සහ ප්‍රදේශවාසීන් අනවශ්‍ය භීතියකින් තොරව නිසි ආරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බව ද හෙතෙම සඳහන් කෙළේය.(Source- The Leader)

 

Follow by Email
LinkedIn
Share
WhatsApp