
එම රටවල වෙළෙඳ ප්‍රතිපත්ති අමෙරිකාවේ වාණිජ කටයුතුවලට බලපෑම් එල්ල කරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සමඟ එරට වෙළෙඳ නියෝජිත කාර්යාලය නව තීරුබදු සැලසුම ට්‍රම්ප් පරිපාලනයට ඉදිරිපත් කැර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තියට අනුව ඉදිරිපත් කර ඇති නව තීරුබදුවලින් 40%ක ඉහළම අගය චීනයට පනවා ඇති අතර, වියට්නාමයට 35%ක සහ ඉන්දියාවට 25%ක තීරුබදු පැනවීමට යෝජනා වී තිබේ. පසුගියදා චීනයේ සංචාරයක නිරත වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී රුසියානු හා චීන ජනාධිපතිවරු සමඟ ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවකට එක්වීමෙන් පසුව චීනයට ඉහළම තීරුබදු පැනවීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වී ඇතැයි ද වාර්තා වේ.
සෙසු රටවලට පැනවීමට යෝජිත තීරුබද්ද 20%ක අගයක් ගනු ඇතැයි ද වාර්තා වේ. යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය සහ බංග්ලාදේශය ට්‍රම්ප්ගේ නව තීරුබදුවලට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ආසියානු කලාපයේ රටවල් රැසක් මෙවර ට්‍රම්ප්ගේ තීරුබදුවලට ලක්වුවද, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කැර නැති අතර, බ්‍රිතාන්‍යය හා කැනඩාව ද නව තීරුබදුවලින් නිදහස් කැර තිබේ.
කෙසේ වෙතත් ලබන වසරට පෙර එම තීරුබදු ක්‍රියාත්මක නොවන අතර, පළමුව මහජන අදහස් විමසීමක් සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය අප්‍රේල් මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දුන් දැවැන්ත තීරුබදු ප්‍රතිපත්තිය එරට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් අවලංගු කිරීමෙන් පසු වැඩිම රටවල් සංඛ්‍යාවකට නව තීරුබදු හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
