Impartial news reporting for a stronger democratic society
ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන පරීක්ෂණයක්: නෙතන්යාහුගේ දේශපාලන අනාගතය අවිනිශ්චිතයි!
  • හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම සහ අසාර්ථක වූ ආරක්ෂක තීරණ
  • ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද මේ අර්බුදය හමුවේ දැඩි දේශපාලන අභියෝගයකට මුහුණ දෙමින් සිටී
  • ඔක්තෝබර් 7 ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන රාජ්‍ය පරීක්ෂණ කොමිසමක් පිහිටුවීම
  • ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණය දැන් ඊශ්‍රායලයේ දේශපාලන බල අරගලයේ තීරණාත්මක සටනක්

2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම සහ අසාර්ථක වූ ආරක්ෂක තීරණ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමේ ඉල්ලීම් යළිත් ඊශ්‍රායල දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

එම ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි, ප්‍රාණ ඇපකරුවන් පැහැරගෙන යෑම සහ ඊශ්‍රායල ආරක්ෂක අංශවල සූදානම පිළිබඳව රජයෙන් පැහැදිලි පිළිතුරු ඉල්ලා සිටින ජනතා හා දේශපාලන බලපෑම තවමත් අවසන් වී නැත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද මේ අර්බුදය හමුවේ දැඩි දේශපාලන අභියෝගයකට මුහුණ දෙමින් සිටී. ප්‍රහාරය වළක්වා ගැනීමට රජය සහ ආරක්ෂක අංශ අසමත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලන වගකීම පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න මතු වී තිබේ.

පරීක්ෂණ කොමිසමක් පිළිබඳ දේශපාලන ගැටුම

2026 නොවැම්බර් 25 වැනිදා ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී ඔක්තෝබර් 7 ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන රාජ්‍ය පරීක්ෂණ කොමිසමක් පිහිටුවීමේ පනත් කෙටුම්පත පළමු වරට ඉදිරිපත් කැර සම්මත කැර ගැනීමට හැකි විය. එයට පක්ෂව මන්ත්‍රීවරුන් 65 දෙනකු ඡන්දය දුන් අතර විරුද්ධව ඡන්දය දුන්නේ 50 දෙනෙකි. කෙසේ වෙතත්, මෙය මූලික අනුමැතියක් පමණක් වන අතර නීතියක් බවට පත්වීමට තවත් කියවීම් තුනක් සම්මත විය යුතුය.

යෝජිත කොමිසම සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත වීමට නියමිතය. 2014 වසරේ සිට 2026 ජනවාරි මාසය දක්වා කාලය තුළ සිදුවූ සිදුවීම් විමර්ශනය කිරීම එහි අරමුණයි. ඔක්තෝබර් 7 ප්‍රහාරයට පෙර පැවති ආරක්ෂක තත්ත්වය, බුද්ධි තොරතුරු පිළිබඳ ක්‍රියාමාර්ග, දේශපාලන නායකත්වයේ තීරණ සහ ඉන් අනතුරුව ගෙන ගිය යුද මෙහෙයුම් පිළිබඳව ද එහි අවධානය යොමු වනු ඇත.

නෙතන්යාහුගේ විරෝධය

ස්වාධීන පරීක්ෂණ කොමිසමක් පිහිටුවීමට නෙතන්යාහු දිගින් දිගටම විරෝධය පළ කැර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපතිවරයා විසින් සාමාජිකයන් පත්කරනු ලබන සාම්ප්‍රදායික රාජ්‍ය පරීක්ෂණ කොමිසමක් මඟින් සාධාරණ විමර්ශනයක් සිදු නොවනු ඇතැයි ඔහුගේ පාර්ශ්වය තර්ක කරයි.

ඒ වෙනුවට රජය සහ විපක්ෂය විසින් නියෝජිතයන් පත්කරන දේශපාලනික ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාවක් නෙතන්යාහුගේ රජය ඉදිරිපත් කැර තිබිණි.

එහෙත් විපක්ෂය පවසන්නේ තමන්ගේම ක්‍රියාකලාපය විමර්ශනය කරන කොමිසමක සාමාජිකයන් සහ විමර්ශනයේ සීමාවන් පාලකයන් විසින් තීරණය කිරීමෙන් සත්‍යය වසන් වීමේ අවදානමක් පවතින බවයි.

වින්දිත පවුල්වලට අවශ්‍ය සත්‍යය

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් සහ ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට දීර්ඝ කාලයක් තිස්සේ බලපෑම් කරමින් සිටිති.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ එදින සිදුවූ ආරක්ෂක බිඳවැටීම පිළිබඳව පමණක් නොව, එවැනි ප්‍රහාරයක් සිදුවීමට ඉඩ සැලසූ දේශපාලන හා ආරක්ෂක තීරණ පිළිබඳව ද සම්පූර්ණ සත්‍යය හෙළි කරන ලෙසයි.

නව පරීක්ෂණ කොමිසම පිළිබඳ යෝජනාවට පාර්ලිමේන්තුවේ මූලික අනුමැතිය හිමිවීම වින්දිත පවුල්වලට වැදගත් දේශපාලන ජයග්‍රහණයක් ලෙස සැලකේ.

නෙතන්යාහුගේ දේශපාලන අනාගතය අවිනිශ්චිතයි

මෙම පරීක්ෂණ ගැටුම ඇතිවී තිබෙන්නේ නෙතන්යාහුගේ දේශපාලන බලය ද අභියෝගයට ලක්ව ඇති අවස්ථාවකය. ඔක්තෝබර් 27 වැනි දා පැවැති මැතිවරණයෙන් පසු ඔහුගේ සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වී ඇති අතර, ගාඩි අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුත් විපක්ෂ කණ්ඩායම නව ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරමින් සිටී.

මේ අතර නෙතන්යාහුට එරෙහිව පවතින දූෂණ නඩු සහ ඔහුගේ දේශපාලන අනාගතය පිළිබඳ ගැටලු ද උග්‍ර වී තිබේ. නොවැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී අගමැති ධුර කාල සීමා පැනවීම සහ අපරාධ චෝදනා යටතේ නඩු පවතින පුද්ගලයන්ට අගමැති ධුරය දැරීම සීමා කිරීමේ යෝජනා ද ඉදිරියට ගෙන යනු ලැබිණි.

තීරණාත්මක සටනක නෙතන්යාහු

ඔක්තෝබර් 7 ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණය දැන් ඊශ්‍රායලයේ දේශපාලන බල අරගලයේ තීරණාත්මක සටනක් බවට පත්ව තිබේ. එක් පාර්ශ්වයක් සත්‍යය හෙළි කිරීමට ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර නෙතන්යාහුගේ පාර්ශ්වය එහි ස්වභාවය සහ පාලනය පිළිබඳව විරෝධය පළ කරයි.

එබැවින් මෙම පරීක්ෂණය හුදෙක් 2023 ඔක්තෝබර් 7 වැනිදා සිදුවූ ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් පමණක් නොවේ. එය ඊශ්‍රායලයේ දේශපාලන නායකත්වයේ වගකීම, රාජ්‍ය ආරක්ෂක පද්ධතියේ විශ්වසනීයත්වය සහ නෙතන්යාහුගේ දේශපාලන පැවැත්ම තීරණය කළ හැකි අරගලයක් ද වේ.

ලිපියට මූලාශ්‍ර: Reuters, The Times of Israel සහ The Jerusalem Post.

චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp